ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Tuesday, April 1, 2014

ජීවිතයේ යථාර්තයද මේ....


මම වින්දික සමහර අයට මම වින්දි මගෙ සමීපතමයින්ට මම චුට්ටෙ. මට මෙහෙම ලියන්න හිතුනෙ ඇයි කියල මම දන්නෙ නෑ. ඒත් මේක මගේ ලැබීමත් නොලැබීමත් අතර දෝලනය වන යටි හිතේ ඇතිවිච්ච ඝට්ටනයක ප්‍රතිපලයක් වෙන්න පුළුවන්. මොකද ජීවිතේ ජයක් කියල ලබපු සමහර දේවල් එක්ක මේ වෙද්දි මට තියෙන්නෙ වෛරයක්.

අපි ජීවිතේ ගොඩක් අවදි පහුකරනවා ර් අතර ළදරු, ළමා, තරුණ, වැඩිහිටි, මහළු ලෙස වර්ග කරන්න පුළුවන්. ඒ ඒ අවදි අපි පහුකරන් යද්දි අපි අපේ ජීවිත වලට වටිනාකම් එකතුකර ගන්නවා. අපිට අපේ ළදරු අවදිය නොතේරුනාට දැන් ඒ අවදියේ ඉන්න කෙනෙක් දැක්කම අපිත් මේ වගේ ඉන්න ඇති කියල හිතෙන දේ මම ආයෙ අමුතුවෙන් කියන්න ඔනෙ නෑනේ අපිට මොකුත් තනියම කරගන්න බැරිව අම්මගෙ හරි තාත්තගෙ අතේ හරි ඉද්දි හිතෙන්නෙ මම තනියම ඇවිදිනව කියලයි. අනුන්ගෙ උදව්වක් නැතිව නැගී සිටින්න උත්සහ කරනවා. එහි ප්‍රතිපලයක් විදියට බඩගාන්න හරි පුරුදු වෙනවා. ඊට පප්සෙ ඒ කඩ ඉම පහුකරලා මොකක් හරි ආධාර කරන් අඩිය බිම තියල නැගිටින්න ට්‍රයි කරනවා. අපි වැටි වැටී ඒ දේ කොහොම හරි කරනවා. මේ අතරෙම අපිට අවට පරිසරයෙන් ඇහෙන දේ ශ්‍රවණය කරල අපි ඒ දේවල් උච්චාරණය කරන්න පුරුදු වෙනවා. ඔය විදියට පියවරෙන් පිටවරට අපි අපිවම ශක්තියක් කරගෙන අපි ජීවත් වෙන පරිසරයට පුරුදු වෙනවා. සමාජවිද්‍යාවෙ කියැවෙන විදියට අපි සමාජානුයෝජනය වෙනවා.

අපි ළදැරු කාලයෙන් ඔබ්බට ඇවිත් දෙයක් තේරුම් ගන්න පුළුවන් කාලයක් එද්දි යම් යම් කඩඉම් පහුකරන් ජීවිතේ එක්තරා අවදි ජයගෙන අවසන් ඒ ජයග්‍රහන වලට තරගක් නෑ. අපිට ඕනෙ වෙලාවක් අරං ඒ දේ අපිට ඕනෙ විදියට ගොඩදාගන්න පුළුවන්. ඒ ජයග්‍රහනය කාගෙවත් බලකිරීම් වලටවත් පොළබවීම් වලටවත් යටත් නොවී අපි අපිවම ඒ තත්වයන පත් කරගන්නවා
අපි ජීවිතේ හොයනවා.

ඉතින් ඔහොම යද්දි පාසැල් අධ්‍යාපනයට ඇතුල් වෙනවා. ඒක වෙනම ලෝකයක්. හැමදේම එක එක කාලච්ඡේද වලට බෙදිලා. මේ වෙද්දි තමා තරගකාරිත්වය කියන්නෙ මොකක්ද කියන දේ අපිට ඇගට දැනෙන්න ගන්නෙ. මේ පරිසරයෙ එකෙක්ගෙ ගමන් මග නිසාම තව කෙනෙක්ගෙ ගමන් මග ඇහිරෙනවා. ඒ මේ රටේ කාලකන්න අධ්‍යාපන ක්‍රමයේ දුර්වලතාවයක්. අපි වෙනම මනසක් ගොඩනගාගන්නවා පිස්සුවෙන් වගේ දැනුම හොයනවා. හැබැයි ඒ තරගයෙන් ඉදිරියට යන්න අවශ්‍ය පන්නරය ගන්නයි. තවකෙක් පහුකරන්න තියෙන ආසාව නිසයි. ඇත්තටම මේ කාලෙ තරගය හොදටම දැනෙන්න ගන්න තව ටිකයි තව ටිකයි කියල අපි උසස් පෙළ පංතියට ආවමයි. මේ වෙද්දි සමහර තැන් වලදි අපි වෙනුවෙන් කැප වුනු අපිත් එක්ක එකට හිටපු ගොඩ දෙනෙක් තමන්ටම ආවේනික ගමනක් ආරම්භ කරනවා. තමුන් තමන්ගෙ අනාගතය ගැන විතරක් හීන දකින්න පටන් ගන්නවා. මේ තරගෙට මුහුන දෙන්න බැරිවෙන අය තරගයෙන් හැලෙනවා. තරගයේ තවමත් ඉන්න එවුන් හැලිච්ච එවුන්ට හිනාවෙනවා. ඇත්තටම අපි හිතනවා එවුන් පහන් දැල්ලට පිච්චුන පලගැටියන් කියලා. ආත්මාර්ථකාමීව ජීවිත තරගබිමේ එකිනෙකා පරයමින් සටන් කරන පිරිසක් අතරින් වෙනමම අදහස් ඇත්තවුන් නිවිලා යනවා. අපි හිතන විදියව පහන් දැල්ලෙ ආලෝකය ඒවගේම රස්නය ඒ කොටසට දරා ගන්න බැරි වෙනවා.

(මෙතනදි මම කියන්නෙ දැන් තියෙන අධ්‍යාපන ක්‍රමයේ තරගකාරිත්වය පිළිබදවයි )

අපි හිතපු විදියට ගින්නට හසුවූ අපේම සහෘදයන්ට පවා වුනේ මොකක්ද කියල හොයන්නවත් බැරි තරමට තරගකාරීත්වය මිනිසත් කම පරාජකරනවා. එකිනෙකා පරයමින් කුහකත්වය පවුරමින් මොළවලට කෑතිම දැනුම ඔබා ගන්ත මිනිස්සු පිරිසක් ජීවිතේ දිනන්න වෙහෙසෙනවා. තරග බිමෙන් ඉවත්ව ගිය පිරිස වෙනම ගමනක් වෙනුවෙන් පෙළගැසෙනවා.

තරගබිම උණුසුම් තරගයට කෙටි නැවතුමක් හමුවන්නෙ උසස්පෙළ අවසන් වී ප්‍රථිපල පිටවෙන තෙක් ඇති කාලයෙයි. තමුන් ගැන විශ්වාසයක් නැති මිනිස්සු තරග බිම ජය ගන්න යලි යලිත් සටන් කරද්දි මම දිනුම් කියල හිතන පිරිස ඊලග කඩුල්ල පනින්නෙ කොහොමද කියල කෙටි සැලසුම් ඉදිරිපත් කරනවා.මේ වෙද්දි හැමෝගෙම බලාපොරොත්තුව කවද හරි සුපිරි ජීවිතයක් ලගාකරගන්නයි. ගෙයක් , වාහනයත් , සල්ලි , ලස්සන කෙල්ලක් හොයන් ලස්සන සුපිරි ජීවිතයක් ගතකරන්න තරගය දිනනවායි හිතන අය හීනමවනවා.
අපිත් එක්ක තර කරපු අතරමග තරගය අතහැර ගියවුන් අපි මේ වෙද්දි දකින හී න වලින් සමහරක් හැබැ කරගෙන. අපි ක්ලාස් ගානෙ ඉගෙන ගන්න කට්ට කාපු කාලෙ උන් හොද ජොබක් සෙට් කරන් නැත්නම් උන්ගෙම පාරක ගිහින් හොද ව්‍යාපාරයක් පටන් අරං. දැන් උන් පට්ට කෑල්ලක් ඉස්සරහ ෂීට් එකේ තියාගෙන අපි දැක්කම චාටර් හිනාවක් දාගෙන හෝන් එකක් ගහගෙන උන්ගෙ ගමන යනවා.

කාලය මැව් වෙනස.. මේක කාලයේ වෙනසද නැත්නම් අපේ දෛවයේ වැරැද්දද?? අපි තාම ඩෙනිමයි බාට දෙකයි ටීෂර්ට් එකයි ඇදගෙන පොත් බෑග් එකක් කරේ එල්ලන් අධ්‍යාපනය නම් මහගිරි දබේ නගිනවා. තාමත් අපිට අපේ අනාගතේ ෂුවර් එකක් නෑ.

මේ වෙද්දි උසස්පෙළ රිසාල්ට් අවුට් වෙනවා. ඊට පස්සෙ තව අවුරුදු 4ක් කැම්පස් එකේ ආතල් කට්ටක් කනවා. මං ඒක ආතල් කට්ටක් කිව්වෙ කැම්පස් එකේ අපි ගන්න ආතල් වගේම ආචාර්යවරු, අනධන සේවක වැඩවර්ජන සිසු ගැටුම් වල අවසන් බයිට් එක අපි වෙන නිසා. සමහර විට අවුරුදු 4 ඊටත් වඩා කාලයක් ගතවෙන්න පුළුවන්. තාමත් එදා වගේමයි වෙනසක් නෑ. පරන විදියටම ජීවිතේ ජයගන්න ට්‍රයිකරනවා. මගින් හැරුණූ පහන් දැල්ලට පිචිචුනා කියල අපි හිතපු එවුන් මේ අවුරුදු 4 වෙද්දි යන්න පුළුවන් තවත් දුර ගිහින්.
මහපොල කියලා මාසෙය 2500ක් හම්බෙනවා. ප්‍රොමෝෂන් හරි කේටරින් හරි ඒවත් නැත්තම් තේ පෙට්ටි කරගහල හරි අතේ වියදමට කීයක් හරි හොයාගන්නවා. මේ වෙද්දි ජීවිතේ දිනනවා කෙසේ වෙතත් නාමික නොවෙන මුට්ටකරගහන්නෙක් බවට අපි පත්වෙලා. ඔය අතරෙ අපේ හිතේ තිබ්බ බලාපොරොත්තුවක් වුන ලස්සන කෙල්ලක් ගොඩදාගන්න පුළුවන් වෙනවා. ලස්සන කිව්වට ඉඩෝරයට දිය බිදක් වගේ... දැන් දෙන්නම එකතු වෙලා හීන බලනවා. හීන වලනම් පාර පැහැදිලියි. බාධක නෑ. ඒත් යන්න බයයි මග අතරමං වෙයි කියලා.

කාලය ගෙවිල යනවා සෙමෙස්තරෙන් සෙමෙස්තරේ ගෙවිල ෆයිනල් ඇවිත්.. ගිරව දාල හරි නැත්නම් බ්‍රයිටලගෙ කුප්පි වලට පිංසිද්ධවෙන්න ඩිග්‍රිය නම් ගොඩදාගන්නවා.
අම්මේ ... දැන් නම් පුදුම නිදහසක් ඔලුවෙ හයිකරල තිබ්බ කටු ඔටුන්න ගලවලා විසි කරා වගේ. මේ වෙද්දි ගොඩ ගියපු කෙල්ල ජීවිතේ ඉන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. මොකද ගොඩක් සරසවි ආදර කතා අවුරුදු 4 ඉවර වෙලා ගේට්ටුවෙ එල්ලලා යන නිසා.
මට හිතෙන විදියට මම දැන් සමාජයේ හෙනම පොරක්. මට මං ගැන ආඩම්බරයි. කන්වකේෂන් දවසෙ ගත්තු ෆොටෝ එක ගෙදරට එන මිනිස්සුන්ට පේන්න ගෙදර ඉස්සරහම එල්ලල මාත් හීනියට ආතල් එකක් ගන්නවා.

දැන් සුදුසුකම් තියෙනවා අධ්‍යාපනයත් උපරිමයි. තැනක උපරිම කැපවීමෙන් වැඩකරන්න පුළුවන්. ඒත් කෝ ජොබ් එකක්. ගලවල දාපු කටු ඔටුන්න ආයෙත් දාගන්න කාලෙ හරි. ඩිග්‍රිය ගන්න ගොඩක් අයගෙ බලාපොරොත්තුව රජයේ ඉහල රැකියාවක්. ඒක එක්තරා විදියක හිගන සිතුවිල්ලක් සීනි පොඩ්ඩක් අල්ලට අරං කහට කොප්පෙ බොද්දි අල්ල ලෙවකනව වගේ සොච්චමක් අරං අවුරුදු 55ට පස්සෙ ලැබෙන විශ්‍රාම වැටුප ගැන හීන මවනවා.මේ වෙද්දි හිතෙනවා කොහොහරි පුහුණුවන්නෙක් විදියටවත් රැකියාවක් කරන්න හිතෙනවා. ඒවටත් දැන් ඉන්ටව් යන්න පෝලිම දවස් ගානක් අවුවෙ කට්ටකාල සහතික මිටිය එහාට මෙහාට උස්සන් ගිහින් කිසි ප්‍රතිථිගයක් නෑ. පුහුණුවන්නෙක් විදියට ජොබ් එකට යන්නත් දැන් පලපුරුද්ද ඕනෙ. මේ වෙලාවට ලෝකෙටම ඇහෙන්න කෑ ගහල කියන්න හිතෙනවා මම උඹලට වඩා ඉගෙන ගත්තා. මට දැනුම තියෙනවා. ඇයි තොපි මට ජොබ් එකක් දෙන්නෙ නැත්තෙ කියලා..

සමහර තැන් වලදි ආට් ඩිග්‍රි එක ගනන් ගන්නෙම් නැලු. එක එක කතන්දර ගොඩක් අපි ඉස්සරහ. දැන් අපි අතරමං වෙලාද කියල වෙලාවකට හිතෙනවා. ගිණිගන්න අව්වෙ ටයි පොල්ලක් දාගෙන දහඩියෙන් ඇදන් ඉන්න ඇදුම් පෙගෙද්දි අපි ජොබ් හොයනවා. ජීවිතේ කොහෙන් හරි ගොඩගන්න ට්‍රයිකරනවා.
ඒත් රස්සාවක් දෙන්න කෙනෙක් නෑ. පලපුරුද්ද නෑලු. සහතික ටික ගිණිතියල ඒ ගිනිගොඩටම පනින්න හිතෙන්නෙ මේ වෙලාවට. රටේ ආශ්චර්යය තමා මේක.

ඊට පස්සෙ පිකට් කරනවා. පාගමන් යනවා. රජයෙන් වත් ජොබ් එකක් ඉල්ලගන්න. රජයට බලකරනවා. කොහොම හරි ඡන්දයක් ලං වෙද්දි උපාධිධාරීන්ට ජොබ් හම්බෙනවා. අවුරුදු ගානක මහන්සිය ගැන දුක හිතිල රජයෙන් ජොබ් දෙනවා. රට ගොනගන්න පුළුවන් අපිටලු. ඇති දැන්වත් මුන්ට ඒක හිතුනා. පත්වීම හම්බුනා. පුහුණුවෙන කාලෙ රුපියල් 10000ක දීමනාවක් ස්ථීර උනාම වැටුප් වර්ධකයක්. උපාධියේ වටිනාකම ඒ විදියට වෙන්දේසි වෙනවා. රුපියල් 10000 වෙනුවෙන් අපි සපත්තු අඩි ගෙවෙනකම් ඇවිදලා ගෙවල් වල ඇට ජාති බෙදනවා. නැත්තම් දිස්ත්‍රික් ලේඛම් කාර්යාගයකට වෙලා වේලෙනවා. ඔහොම ගෙවල් ගානෙ ඇවිදිද්දි උසස්පෙලෙන් හැලුනු එවුන් අපිට හම්බෙනවා.
 "ආ මචං දැන් කැම්පස් අවුට් ද ? දැන් මේකෙද වැඩ?? ගොඩක් කල්ද ?? මම නම් දැන් අවුරුදු 06ක් අහවල් කොම්පැනියෙ වැඩ බං. අපිට උඹල වගේ ඉගෙනගන්න බැරි වුනා. ඒ ගැන දුකයි. දැන් මට කම්පැනියෙන් මේන්ටේන් කරන කාර් එකක් තියෙනවා. මම දැන් මේ ගේ හදනවා. තව මාසයක් යද්දි ගෙදර වැඩ ඉවරයි. ලබන අවුරුද්දෙ මුල මැරිකරන්න හිතන් ඉන්නෙ"

ඔන්න ඕකයි යථාර්ථය..

කරපු දේවල් විදපු දුක් ඉගෙනගන්න විදපු දුක දැනෙද්දි මතක් වෙද්දි හදවත පිච්චෙනවා. ආත්මය ගිණිගන්නවා. ඉගෙන ගත්ත මිනිස්සුන්ට කෝ මේ රටේ තැනක්. අයිතියක්.
අපි තාම කොතැනද? ජීවිතේ දිනුව කියල හිතුවට අපි ඇත්තටම දිනුම්ද?? මට හිතෙන්නෙ අපි දිනනව කෙසේවෙතත් ජීවිත සටනට තාම අපි අවතීර්ණ වෙලාවත් නෑ.
එහෙම බලද්දි එක පැත්තකින් සාර්ථක වුනාට අනිත් හැමදේම අපිට තාමත් හීන.........

සටහන
වින්දික රත්නායක.

0717740587  

No comments:

Post a Comment