ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Wednesday, September 3, 2014

අයිස් බකට් සීතලද - අමු මිරිස් සැරද??


දවසින් දවස ලෝකය වෙනස් වෙනව වගේම මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් හැමදේම වෙනස් වෙන්න තත්පරයක් ඇති. මිනිසත් බව ලබන්න පින් කරන්න ඕනෙ කියල කිව්වට වෙලාවකට හිතෙනවා පින් කරලා මෙකට මිනිසත් බවක් ලබා ගත්තද කියලා. මම බෞද්ධ ජීවිතය ගෙතෙන්නෙ අටලෝ දහමට අනුවයැයි මගේ විශ්වාසයයි. එතනදි ලාභ-අලාභ , සැප-දුක , යස- අයස , නින්දා- ප්‍රශංසා , යන දේවල් අපේ ජීවිතයේ කොතනකදි හෝ ලැබෙනු නියතයි. දැනට අපි හිතේ සතුටින් ජීවත් වෙනවා (බොහෝ අය) ඒත් තමන්ගෙ ජීවිතේ අනපේක්ෂිත බව දැන දැන විදින්නට තියෙන ජීවිතේ දිහා විදවීමකින් දකින පිරිසක් අපි අතරම ජීවත් වීම ඇත්තටම දෛවයේ සරදමක් වෙන්න ඇති. හැමදේම කිසිම අඩුපාඩුවක් නැතිව මව් කුසෙන් දරුවෙක් එලිය දකිද්දි ඒ අම්මට තමන් මේ දරුවට ජීවය දෙන්න ඒ අම්මා විදපු වේදනවා ඒ අම්මට සතුටක්. එහෙම බිහිවුන දරුවෙක් කල් ගතවෙද්දි මොකක් හරි රෝගයක් නිසා වේදනාවෙන් ඉන්නව දකින්න ලැබෙන එකත් ඒ දේ වෙනුවෙන් තමන්ට කරන්න කිසි දෙයක් නෑ කියලා ඒ අම්මට දැනෙද්දි ඒ වේදනවා දරුවා බිහිවෙද්දි ශාරීරිකව වින්ද වේදනාවට වැඩි ඇති. අනෙක් පැත්තෙන් දරුවෙක් අසීමිතව ආදරේ කරන අම්ම හෝ තාත්තට එහෙමත් නැත්නම් එයාගෙ සහෝදරයෙක් සහෝදරියක් නැත්නම් යාලුවෙකු තමන් එක්කම ඉදලා මේ විදියට යම් රෝගයකින් වේදනා විදිනවනම් ඇත්තටම පිරිමි ඇසකට උනත් කදුලක් උනන්න ඒක හේතුවක් වේවි.


වෙනදා වගේම මොකක් හරි හේතුවක් ඇති වෙනවා අපිට තියෙන ප්‍රශ්න ඉස්මතු වෙන්න අවස්ථාවක් ඇති වෙන්න. මේ ටිකේ ලොව පුරාම ජනප්‍රිය උන අයිස් බකට් චැලේන්ජ් එක ඒකට නිදසුනක් හේතුව දන්න නොදන්න හැමෝම ලෝකෙට පේන්න අයිස් බකට් නාලා ඒ වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරලා තිබුනා. අන්තර්ජාලයෙන් ඔබ්බට ගිහින් ලංකාවේ රූපවාහිනී නාලිකා පුවත් පත් වල පවා මේ සිදුවීම් ජාලය පිලිබදව වාර්තා කර තිබුනේ ඒක ඒ තරමටම ජනප්‍රිය වීමත් අපේ රටේ සමහර දේශපාලකයන් මෙන්ම කලාකරුවන්ද මේ සදහා ඉදිරිපත් වු නිසා විය හැක. සමහරු තමන්ගේ ජනප්‍රියත්වය වැඩි කරගන්නට අයිස් බකට් නා ගත්තත් ඇතැමුන් අයිස් බකට් අභියෝගය තුලින් තම රටේ අසරනව සිටින ජනතාවට ආධාර උපකාර කරන්නට වග බලා ගත්තේය. 

මෙහි උණුසුම මැකී යන්නට මත්තෙන් අපේ රට තුල දැවෙන ප්‍රශ්නයක් හේතුව කරගනිමින් තවත් අභියෝගයක් නිර්මාණය කරන්නට රසික නානායක්කාර නම් මනුසත් බව පිරි හදවතක් ඇති මිනිසෙකු හා ඔහු වටා රොද බැදුනු මිනිසුන් අතර සැබෑ මිනිසුන් පිරිසක් සමත් විය. රටට බත දී රටම පෝෂණය කර වකුගඩු රෝගයෙන් පීඩා විදින අපේම සහෝදර මිනිසුන්ගේ අවිනිෂ්චිත ජීවිතය පිළිබද තවත් එක දිනක් හෝ ඔවුන්ට බලාපොරොත්තුවක් ඇති කරවන ආකාරයේ කටයුත්තකට මේ පිරිස මුල පිරුවේය. රට කරවන රජයකට අමතක වූ මිනිසුන් පිරීසක් වෙනුවෙන් ඔවුන් අරමුදලක් ඇතිකර තම සහෑදයන්ට මෙම අභියෝගය භාර කලේය. එය අමුමිරිස් චැලේන්ජ් ලෙස නම් විය. එයට හේතුව වුයේ ඔවුන් විදින වේදනාව පිලිබද පොඩි චිත්‍රයක් හෝ එම අභියෝගයට මුහුන දෙන පිරිසට දැනෙන්නට හැරීමයි. මේ කර්ත්‍රව්‍ය මේ වන විට දියත් වෙමින් පවතී. ඔවුන්ගේ අපේක්ෂාව පොලොන්නරුව ප්‍රදේශයේ වෙසෙන වකුගඩු රෝගීන් වෙනුවෙන් මිලියන 3ක් පමන වටිනා අත්‍යාවශ්‍ය රුධිර පෙරන යන්ත්‍රයක් ලබා දීමයි. ඒ උතුම් මිනිසුන්ගේ උතුම් කර්ත්‍රව්‍ය වෙනුවෙන් අපි පෙළගැසිය යුතුය. ඒ අපේ මිනිසුන්ගෙ ජීවිතය ජීවත් කරවීම අපේ යුතුකමක් කරගත යුතු නිසාය.................    

අපේම මිනිසුන් වෙනුවෙන් අපි අද සිටම පෙළගැසෙමු!!!!!!!!

Tuesday, August 12, 2014

නුඹට ලිව්ව නුඹ නොදන්න මගේ කවිය

හමුවීම අහඹුවක්.......

නොහිතපු දවසක

නොහිතපු මොහොතක

නිකිණි සදත් එක්කම

නුඹ ඇවිත්

අතර මංව

 මං සොයන විට

පහන් දැල්ලක්

ගෙනඑලිය කරමින් මග

නුඹ ඇවිත්

වෙනදාට හමා ගිය

හුරු පුරුදු සුලං රැල්

පවා දැන් වෙනස්වී

නුඹේ ආගමනයෙන්

පරව යන්නට තිබුනු

අරලියා මල් ගොමුව

විකසිතව යලි යලිත්

වසන්තය අවසන්ව

කර්කශව වූ කලෙක

වැහි පොදක් එක්ක ආ

නුඹ නිසා......... 


වින්දික රත්නායක


Monday, June 2, 2014

මාතෘකාවක් නැති කතාවක්

හදිසියේ කතරගම යන්න සෙට් වුනා. ගොඩ දවසකින් ගිහින් නැති නිසා යන්නම ඕනි කියල හිතුනා. කෑගල්ලෙන් උදේ වෑන් එකට නැග්ගා. තත්පර,විනාඩි,පැය කටු ඔරලෝසුවේ තොර තෝංචියක් නැතිව කැරනෙනවා. රුවන්වැල්ල අවිස්සාවේල්ල රත්නපුරේ හරහා තනමල්විල පැත්තෙන් කතරගමට ආවා. ඉස්සරට වඩා පාරවල්නම් හොදයි. ඒත් හැමදාම වගේ අහිංසක මිනිස්සු ලෑලි කඩ ඇතුලෙ තාමත් වෙලාදාමේ. පාරවල් ගුවන්තොටුපලවල් වරායවල් අලුතින් හැදුනට තිබුණු එව්වා සංවර්ධනය වුනාට කාස්ටක අව්වත් එක්ක පොරබදින ඒ මිනිස්සු තාමත් ඒ විදියටම දෛවය එක්ක සටන් කරනවා.

පැය ගානකට පස්සෙ කතරගට ආවා. නුහුරු පරිසරයක් ජීවත්වෙන මිනිස්සුන්ගෙ වගේම පරිසරයත් නුහුරුයි.
හවස 6 වෙනකොට පූජාවට යන්න හිතන් හිටියත් අපේ ප්‍රමාදය නිසාම පූජාවට යද්දි 8ත් පහුවෙලා. පූජාභූමියට වාහනේ ඇතුල් වෙද්දිම එතන හිටපු එකෙක්
පාර වහල ඉස්සරහට යන්න බෑ..
අපිට හිතාගන්න බෑ මේ මොක කුණුහරපයක්ද කියලා.
ඩ්‍රයිවර් අයියා- උන් ඔය හදන්නෙ වාහනේ පාක් එකට දාගෙන ගානක් කඩා ගන්න.
ඩ්‍රයිවර් අයියා එහෙම කියාගෙනම වාහනේ වෙන පාර්ක් එකක නැවැත්තුවා.
එතන හිටපු එකෙක් - එන්න පුජා වට්ටියක් ගන්න
අපි - අපි හදන් ආවේ
එතන හිටපු එකා - අවුලක් නෑ මචං මල් මාලාවක් ගන්න
අපි - ඕනි නෑ
එතන හිටපු එකා - එහෙම කරන්න එපා මචං අපි වාහනේ බලාගන්නවා පොඩි ෂපෝට් එකක් දෙන්න.

කොහොම හරි අපි ලග තිබ්බ පූජා වට්ටි 8ට ඒ මනුස්සයා එපා කියද්දි මල් මාල 8ක් දුන්නා. එකක් 80යි. ඔන්න වෙලදාම පටන් ගත්තා.
ඊට පස්සෙ අපි අඩිට ඉක්මන් කරලා දේවාල භූමියට ඇතුල් වුනා. ඇතුල් වෙද්දිම පොඩි එකෙක් අනේ මහත්තායා කීයක් හරි දෙන්න.. අම්මලා තාත්තලගෙ කාලකන්නි ආසාවල් වලට ඉපදුන පොඩි එවුන් මහපාරෙ හිගාකනවා.

දේවාලෙ පූජාවට පුදුම සෙනගක් දේවාලේ වටේට පුජාවට්ටි තියාගත්තු අය තමන්ගෙ වෙලාව එනකම් බලන් ඉන්නවා. අපිත් ඒ පෝලිමටම එකතු වුනා. පූජාවට්ටිය අරං දේවාලෙට ගාවට යද්දි තවත් වෙලදාමක් පලතුරු කූඩවලට පුරවන් අරං යනවා.

පූජාව ඉවර කරලා කිරි වෙහෙර වැදගන්න කිරිවෙහෙරට යන වැලි පාරට ඇතුල් වෙද්දිම ආයෙත් වෙලදාමක්
කිරි වෙහෙරෙ කරඩුව වැඩම කරන්න ඉන්න ඇත්පැටියගෙ බඩ ඇතුලෙන් යන්න ඇස්වහ කටවහ හීනෙන් බයවෙන අය එන්න රුපියල් 50යි. රුපියල් 50ට වලුර එකක් වත් ගන්න බෑනෙ. එන්න එන්න. එතන ඇත් පැටවා බලා ගන්න මනුස්සයා ඇත්පැටවගෙන් හොද ගානක් හම්බ කරගන්නවා.

තව ටිකක් ඉස්සරහට යද්දි මල් කෙල්ලන්ගෙ ආයාචනාවන්.. අනේ අපෙනුත් මල් ගන්..........න.. අපෙනුත් කවුරු හරි ගන්න මල් 10ම රුපියල් 50යි.

එතනින් මල් ටිකක් අරං කිරි වෙහෙරත් වැදගෙන ආපහු වෑන් එකට එන්න ආපහු එන ගමනෙ හිත කීරි ගැහෙන සිද්ධි ටිකක්.
පොඩි ලමයි දෙන්නෙක් කිලිටි ඇදුම් ඇදන් බංකුවක නිදි. පව් අසරණ ජීවිත අකුරක් කරන්න පිනක් නෑ. ඒත් පිං බිමක හිගාකනවා. දෙමාපියන්ගෙ වැරදි.
තව ටිකක් ඉස්සරහට යද්දි කිරි දරුවෙ දෙන්නෙක් තියන් ගෑනියක් හිගා කනවා. ලමයි විකුනල මුදල් ගරනවා. එකනට එහා පැත්තෙ බඩක් උස්සගෙන හිගාකනවා. අනේ ඒ දරුවන්ගෙ අනාගතය කොයි විදියට වෙයිද ප්‍රශ්ණයක් උන්ට හිගමන් දීල උන්න තවත් දිරිමත් කරන්න මට උවමනාවක් නෑ.
කන්න දෙන්න දෙයක් තිබුනනම් ඒ දරුවන්ගෙ බඩගින්න නිවන්න තිබුනා. ඒත් ඒ හිගාකෑමට මුදල්මය වටිනාකමක් දෙන්න තරම් මගේ හිත පහතට වැටිලා නෑ. වෑන් එකට එන්න හද්දි ඇත්තටම යචක කාන්තාවක් එයාට මම රුපියල් 20ක් දීල එද්දි පොඩි එකෙක් ඇවිත් ඇගේ එල්ලෙනවා අනේ මහත්තයා කීයක් හරි දෙන්න කියලා. අම්මලගෙම පාරෙ යන දරුවෙක්. බිම බලාගෙන මම මගේ ගමන එන්න පිටත් වුනා.

හිතට අමාරුයි අපි දෙවියන්ගෙ පිහිට තියෙනවා කියලා හිතන් යන තැන්වල පුංචි ලමයි අසරණවෙලා හිගාකකනවා දැක්කම.
සීතලට හැගීම් වලට වහල් වෙලා ලමයි හදද්දි හිතන්න ඕනෙ කවද හරි උන්ට මොනවගේ තත්වයක් ඇතිවෙයිද කියලා. කන්න දෙන්න බලාගන්න ආරක්ෂාකරන්න උගන්වන්න පුළුවන්නම් විතරක් ලමයි හදන්න ජාතිය ගොඩනගන්න ලමයි හදන්න කියන මිනිස්සු මේවා දකින්න ඕනෙ

කතරගම දෙවියනි මේ අසරණ මිනිසුන්ට පිහිට වන්න.......!!!!!

Sunday, May 18, 2014

සරසවි උපසංස්කෘතිය....

උප සංස්කෘතියක අරුමය..
මහා සංස්කෘතියෙන් ඔබ්බට..
සරසවි උපසංස්කෘතිය....

කිසියම් රටක රටක හෝ එම රට තුල ජීවත්වන ස්වදේශික පිරිසගේ පොදුවේ හදුනාගත හැකි ජීවන රටාව එම රට තුල ප්‍රධාන සංස්කෘතිය ලෙස එනම් මහා සංස්කෘතිය ලෙස හැදින්වේ. එමෙන්ම රට තුල පවත්නා වූ මහා සංස්කෘතියට බාධාවක් නොවන අයුරින් මහා සංස්කෘතියෙන් වෙනස් වන පිරිසකගේ හැසිරීම් රටාව උප සංස්කෘතියක් ලෙස හැදින්නේ.

උදාහරණයක් වශයෙන් අප රට ගතහොත් සිංහල සංස්කෘතිය සිංහල ජනතාවගේ හැසිරීම් ලෙස හැදින්විය හැක. ඒ යටතේ ඇති ප්‍රාදේශීය සුවිශේෂතා, භික්ෂූන්ගේ හැසිරීම්, හමුදා සෙබලුන්ගේ හැසිරිම්, යාචකයන්ගේ හැසිරීම්, ත්‍රීරෝද රථ රියදුරන්ගේ හැසිරීම් මහා සංස්කෘතියෙන් පරිභාහිරව නිර්මාණය වූ උපසංසකෘතින් වේ.

“A Subculture is a set of understanding and behaviors that distinguishes member of a regional occupational ethnic or other group from other members of society”
-Levin-

මෙසේ මහා සංස්කෘතියෙන් පරිභාහිරව උපසංසකෘතින් බිහිවීමට ප්‍රධාන හේතු ලෙස එසේ උප සංස්කෘතියක් බිහිකරගන්නා පිරිස සමාජයෙන් වෙන්වී සිටීම ප්‍රධානවේ. එමෙන්ම ඒම පිරිස අතර නිරන්තරයෙන් සිදුවන අන්තර් ක්‍රියාවලීන්ද මෙයට බෙහෙවින් හේතුපාදක වේ.

කිසියම් උපසංස්කෘතියක් බිහිවීමට හේතුවන්නේ මහා සංස්කෘතියෙන් වෙන්ව සිටීමයි. විශ්වවිද්‍යාල , භික්ෂුසාමාජ , හමුදා , සිරකදවුරු , මහා සංස්කෘතියෙන් යම් තාක් හෝ බැහැරව පැවතීම මෙයට හේතුවේ. විශේෂයෙන්ම සරසවි තුල උප සංස්කෘතීන් බිහිවීමේදී නවක වදය, ශිෂ්‍ය අයිතිවාසිකම් , ආණ්ඩු ප්‍රතිපත්ති වෙනස් වීම්, පරිපාලනමය ගැටලු යනාදියට ඔවුන් මුහුන දෙන විට ඔවුන් අතර සිස්‍දුවන අන්තර්ක්‍රියාකාරීත්වය උප සංස්කෘතිය බිහිවීමට හේතුවේ.

එමෙන්ම විවිධ උප සංස්කෘති කෙරෙහි බලපාන සාධක ලෙස
භාෂාව,ආගම,කුලය,ප්‍රාෙද්ශිය විවිධත්වය,අධ්‍යාපනය,රැකියාව,වයස,ස්ත්‍රීපුරුෂ භේදය පෙන්වා දිය හැකිය.
උපසංස්කෘතියක දැකිය හැකති ප්‍රධානතම වෙනසක් ලෙස ඔවුන් භාවිතා කරන්නා වූ භාෂාව පෙන්වා දිය හැකිය

උදා - භික්ෂු උපසංස්කෘතියේ භාෂාව පිළිබද සැලකිලිමත් වුවහොත්

පොදු
භික්ෂු
ආහාර ගැනීම
දන්වැලදීම
ගමන් යෑම
වඩිනවා
ලෙඩවීම
ගිලන් වීම
මැරෙනවා
අපවත්වෙනවා
බුලත්වට්ටිය
දැහැත්වට්ටිය

වැනි භාෂාවේ විවිධත්වයක් මහාසංස්කෘතියක් එම උප සංස්කෘතියත් අතර දැකිය හැක. එමෙන්ම ඇදුම් පැලදුම් වලින් පවා මහාසංස්කෘතියත් භික්ෂු උපසංස්කෘතියක් වෙන්කරගත හැකිය.

තවත් මෙරට තුල දක්නට ඇති උපසංස්කෘතියක් ලෙස රොඩී උපසංස්කෘතිය පෙන්වා දිය හැක. එහිදීද භාෂාව,හැසිරීම,ඇදුම් පැලදුම් විලාසය, ආහාර ලැනීම පවා මහා සංස්කෘතියට වඩා විශේෂත්වයක් ගනී. 

විශේෂයෙන් මොවුන්ගේ ජීවන උපායන් ලෙස සතුන් නැටවීම, බෙර නිපදවීඹ ,නැටීම, යනාදියත් කොසු ඉදල් කඹ ආදිය නිපදවා විකිණීමත් විශේෂයකි. ඔවුන්ගේ භාෂාව මහා සංස්කෘතියේ ඇති භාෂාවට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගනී.

පොදු
රොඩී
යනවා
දිස්සනවා
ගස
ඌ හෑල්ල
ගෙදර
දුමන
මිනිසා
ගාඩියා

ලෙස මහාසංස්කෘතියෙන් විවිධත්වයක් ගනී.මෙසේ සමාජය තුල ඇති උප සංස්කෘති දෙකක් ගෙන හැර දැක්වීම විශ්වවිද්‍යාල උප සංස්කෘතිය පිළිබදව වටහා ගැනීඹට හේතුපාදක වේයැයි මා විශ්වාස කරමි.

විශ්වවිද්‍යාල උපසංස්කෘතිය

මෙරට පවතින සරසවි තුල එයටම ආවේණික වූ උපසංස්කෘතියක් දක්නට ලැබේ. සරසවිය තුල සිටින සියලුම විද්‍යාර්ථයින් බාහිර ලෝකයෙන් වෙන්ව වෙනස්ම උප සංස්කෘතියකට අයත් පිරිසක් ලෙස ඒකරාශී වී සිටී. සරසවිය තුල ඇති භාෂාව, සිරිත් විරිත් ගති පැවතුම් බාහිර සමාජයෙන් වෙනස් ස්වරූපයක් ගනී. විශ්වවිද්‍යාල උපසංස්කෘතිය මහා සංස්කෘතියේ වැඩිපුරම කතාබහට ලක්වූ උප සංස්කෘතියක් ලෙස පෙන්වා දිය හැක. සමාන ගැටලු වලට මුහුන දීම එකිනෙකා අතර අන්තර්ක්‍රියාකාරිත්වය මෙම උපසංස්කෘතිය තුල දක්නට ලැබේ.

සරසවි සමාජය තුළ  මහා සංස්කෘතියෙන් වෙන් වූ උප සංස්කෘතියක් බිහිවීමට විශේෂිත වූ හේතු කිහිපයක් දැක් විය හැකිය. සරසවි පද්ධතියටම අනන්‍යය වූ ඒවා තුලින් උපසංස්කෘතිය  බිහිවේ.

ü  විශේෂයෙන්ම සිසුන් බාහිර සමාජයත් සමග එතරම් සබදතායක් පවත්වන්නේ නැත. සරසවිය වෙනම ඒකකයක් ලෙස ක්‍රියාකරන අතර එය සමාජයට විවෘත නොවන සේ තබා ගැනීමට සරසවි සිසුන් තුල සම්ප්‍රදායන් රාශියක් ක්‍රියාත්මක කරයි.

ü  එමෙන්ම විශාල පිරිසක් එකම බිමක වාසය කිරීමත් මොවුන් නිතර දෙවේලේ මුනගැසීමත් ඔවුන් අතර නිතර අන්තර්ක්‍රියාකාරිත්වයක් සිදුවීමත් තවත් මෙලෙස මහාසංස්කෘතියෙන් කැඩී වෙනම උපසංස්කෘතියක් බිහිවීමට හේතුවේ.

ü  සරසවියට ඇතුල් වන්නේ විශාල තරගකාරී තත්වයකනින් පසුවය. මොවුන්ගේ ඒකායන අරමුණවන්නේ අධ්‍යාපනය ලැබීමයි. එබැවින් සමාන කාර්යයක නිරත වන මෙම පිරිස අතර උප සංස්කෘතියක් බිහිවේ.

ü  සරසවි සිසුන් මුහුණ දෙන ගැටලු රාශියකි. පරිපාලන ගැටලු, පොලිසිය හා ආණ්ඩු සමග ඇතිවන ගැටලු, සිසු අයිතීන් වැනි ගැටලු වලට මුහුණදීමට උපසංස්කෘතියක් නිර්මාණය කරගනී. සරසවි සිසුන් අතර කාඩ් යෙදීමේ ක්‍රමය ආරම්භ වී ඇත්තේද භීෂණ සමයේ තම සහෘදයන් බේරාගැනීමේ අරමුනින්ය.

සරසවි බස 

සෑම උප සංස්කෘතියක් සතුවම තමාටම අනන්‍යය වූ භාෂාවක් ඇත. සරසවි උපසංස්කෘතියටද එසේම මහා සංස්කෘතියෙන් පරිභාහිරව වෙම කතා ස්වරූපයක් දැකගත හැක. සරසවි භාෂාව තුල ඇත්තේ පරිමිත භාෂා ව්‍යවහාරයක් වන අතර . සමාජයේ ඇති අතිශය විශේෂිත කාර්යයන් සදහා පමණක් යෙදෙන භාෂා ස්වරූප පරිමිත භාෂා ස්වරූපයක් ලෙස හැදින්වේ. මෙම භාෂා ව්‍යවහාරයන් පොදුවේ සෑම අවස්ථාවකදීම භාවිත නොකරන අතර සීමාසහිත විශේෂ අවස්ථාවලදී පමනක් යොදා ගනී.

ඇණගන්නවා - මෙහි අර්ථය පෙම්වතෙක් හෝ පෙම්වතියක් තම ප්‍රේම සබදතාවෙන් පරාජ වීමයි. සබදතා ඇතිකරගැනීඹට ගොස් පරාජිතයන් බවට පත්වීමද ඇණගැනීම ලෙස සරසවි බස තුල දැක්වේ.

කොක්ක - සරසවිය තුල කොක්ක ලෙස හැදින්වෙන්නේ පෙම්වතා හො පෙම්වතියයි.

හෝදනවා - තරුණයෙක් තරුණියක් සමග පෙම් සබදතාවයක් ඇති කර ගැනීමේ අරමුණින් සුහද ව කතාබහ කිරීම මෙසේ හැදින්වේ.

මල්කඩනවා - තරුණයෙක් තරුණියක් සමග ආදරය ඉල්ලා සිටීමට පෙර ප්‍රේම සිතුවිල්ල මුල් කරගෙන කතාකිරීම මෙසේ හැදින්වේ.

සැපගන්නවා - සැන්දෑ සමයේ පෙම්වතා පෙම්වතිය සමග නිදහසේ පෙම් සුව විවීමයි

ෆුට්බෝඩ් යනවා - තම මිතුරාට පෙම් සබදතාවයක් ඇති කර ගැනීමට උදව් කිරීම සරසවි ප්ද්ධතියේ හැදින්වෙන්නේ මෙම නමිනි

ලැම්බටි වෙනවා -  සරසවියේ සාමාන්‍ය පිලිගැනීම පෙම්වතාගේ වසර පෙම්වතියලේ වසරට වඩා ජේෂ්ඨ විය යුතුය නැතිනම් දෙදෙනා එකම වසරක විය යුතුය. එසේ නොවන ලෙස පෙම්වතා පෙම්වතියට වඩා පහල වසරක වීම වෙසේ ලැම්බට් වීම ලෙස හැදින්විය හැක

උදැල්ල දානවා - පෙම්වතා පෙම්වතිය සමග නිදහසේ පෙම්සුව විදින අවස්ථාවක වෙනත් පුද්ඝතයෙකු ඔවුන්ට බාධාවන ලෙස හැසීරීම මෙසේ හැදින්වේ




දෙවන කොටසින් හමුවෙමු.....................



Monday, May 12, 2014

ජනිතා සොයුරිය ඔබට සුභ ගමන්....

මම බ්ලොග් ලියන්න අරං මහ ලොකු කාලයක් නෑ. හැබැයි ඒ ටික කාලෙදි මට ජීවිතේ මේ තාක් මුණ ගැසුනු සොදුරුම මිනිසුන් ටික අාශ්‍රය කරන්න ලැබුනා. දන්න අයට වඩා නොදන්න අය මගේ හොදම මිතුරන් වුනා. බ්ලොග් අවකාශයේ ශ්‍රේෂඨ මිනිසුන් පිරිසක් ඉන්නවා. ඒ පිරිසෙන් බහුතරයක් දැන හදුනගන්න ලැබුනා. නලින් අයියලා ප්‍රදීප් අයියා, දුලිප් අයියා , චතුරිකා අක්කා ඒ ශ්‍රේෂඨ මිනිසුන් අතර ඉහලින්ම වැජබෙනවා.
ඒ මං දන්න කියන අය. නොදන්න ශ්‍රේෂඨ මිනිසුන්ද බොහොමයක් මේ බ්ලොග් අවකාශය තුල ජීවත් වෙනවා ඒක අවිවාදයි.

ලගදි දවසක දැකපු බ්ලොග් පෝස්ට් ඒකක් නිසා හිතග ලොකු දුකක් අැති වුනා අාහාර විෂ වීමක් නිසා අසාධ්‍ය තත්වයේ ප්‍රතිකාර ලබන සහෝදරියක් ගැන සදහන් වෙලා තිබ්බා. ඉන් පසුව දැන ගන්න ලැබුනා අෑ මේ සොදුරු මිනිසුන්ගෙන් සමු අරං වෙනත් මානයකට ගොස් අැති බව.

මේ පොස්ට් ඒකෙන් දුකෙන් ඉන්න මිනිස්සු රිදවන්න ඔිනි නෑ. හැබැයි මේ අවකාශයේ සැරිසැරූ මා නොදන්නා ඒ සොදුරු සොයුරියට මගේ සංවේගය දැක්විය යුතුයි. 

අාදරණීය ජනිතා සොයුරිය,

ජීවිතය අනිත්‍යයි
ඒක බුදුවදන
මලක් පිපිනත් ඒක සදාකාලික නෑ
ඉක්මනින් පරවෙන මල්
අපි ජීවත්වෙන පරිසරයෙ ඔිනි තරම්
හිතට දුක
මරණයට වඩා
දිගුකලක් සුවද විහිදිය යුතු 
සොදුරු මලක් 
වේලාසනින් පරව යාමයි...

මේ ජීවිතයේ අැති යාම් ඒම් පමනක්මයි
ඔබ ඒය නැවතත් අපිට කියාදුන්නා
මුණගැසුුනු මිතුරෙක් ගේ වියෝව
අමුතුවෙන් කියන්න ඔිනි නෑ..

ගොඩක් දුකයි
නොදැක්කත් 
කිසිම අැදුනුම් කමක් නැතත්
ඔබත් අපි අතර වූ
සොදුරු සිතැත්තියක් නිසා....

වසන්නත ඉවර නෑ
ඒත් ඔබ
වසන්තයේ නිමාවට පෙර
යන්න ගිහින්
අලුත් වසන්තයක් සොයා


අාදරණීය සොයුරිය
ඔබට
සුභගමන්
මගේ අාචාරය
මතු බවයේද අපි අතරම ඉපදේවා.................
බුදුසරණයි

Thursday, May 8, 2014

කවියෙකුගේ වේදනාව..........,



මම කොච්චර කීවත්
කොයි තරම් කදුලැල්
ඔයා ඉදිරියේ සැලුවත්
උණු නොවුනු හදවතක්
ඔයා ලගට ආවෙ
කොහොමද කියල මට හිතාගන්න බෑ

ඉස්සර
මාත් එක්ක හිනාවුනු
මගේ දුකේදි මටත් වඩා දුක් වුනු
මටත් වඩා මං වෙනුවෙන් කදුලු හලපු
ඔයාද අද මේ ඉන්නෙ කියල හිතද්දි
හදවත ගිණිගන්නවා
ඔයා නොදන්නවා ඇති
මම කොච්චරනම් ඔයාට ආදරේ කරනවද කියලා
සමහරු හිනාවෙනවා
මිරිගුවක් පස්සෙ යනවා කියලා

ඔව්

සමහර විට ඒක මිරිගුවක් වෙන්න ඇති
හැබැයි ප්‍රශ්නයක් තියෙනවා
ඔයාගෙයි මගෙයි
හිතේ අපි ගැන ආදරෙන්
ලියවිලා තිබ්බ කාලෙ ගැන
හිතද්දි මේක මිරිගුවක් වෙන්නෙ
කොහොමද කියලත් හිතෙනවා
හිත් වෙනස් වෙනව තමයි
හැබැයි මේ තරම් දරදඩු විදියට
වෙනස් වෙන එක
මට විතරක් නෙමෙයි
කාට වුනත් දරාගන්න බැරිවෙයි

ඉස්සර ගොඩක් රෑ වෙනකම්
ෆෝන්  එකෙන් කතාකරද්දි
අපි දෙන්නම ඇහැරිලා හිටියා
හැබැයි
එදාට වඩා අද වෙනස්
ඒ පුරුද්දට තාමත් මට නින්දක් නෑ
මම ඔයාව බලාපොරොත්තුවෙන් අවදියෙන් ඉන්නවා
හැබැයි දැන් ඔයා ඒ වෙලාවට නිදි ඇති
වෙනස්වෙන හදවත් එකක් බලද්දි
මට මගේ හදවත ගැන
ලොකු අභිමානයක් තියෙනවා
ඒ මගෙ හදවත නොවෙනස්ව
ඔයාගෙ සුපුරුදු ආදරෙයි
ඔයාවයි හොයන නිසා
ආදරේ කරන නිසා

සමහර විට මගේ වේදනාව
ඔයා දකීවි
දැකලත් නොදැක්කා වගේ යන්නෙ නැතිව
හිත හැදෙන්න කතාකරලා යන්න
එක පාරටම දුරස් වෙද්දි
දරාගන්න ගොඩක් අමාරුයි
දැන් අවුරුදු 2කට වැඩියි
හැබැයි.........................
මම තාමත් බලාපොරොත්තුවෙන්.
ඔයා ගැන......





Thursday, April 24, 2014

සොදුරු ආක්‍රමණිකයාගේ සිතුවිලි දඩයම


ලංකාවේ සොදුරු පෙම්වතුන් බොහොමයකගේ ප්‍රේම පාරාදීසය. ආදරණීය හිත් එක්වෙන දොඩමළු වෙන බොහෝ ආදර කතා වල ඇරඹුම මෙහිය. ඒ සුන්දර පෙම්වතුන්ගේ ආදරණීය පූජාසනය. හන්තාන අඩවියයි. හන්තානේ සුන්දරත්වයක් ඒ අසලින් නිසලව ගලා බසින මහවැලි ගංගාව ඒ ප්‍රදේශයේ අලංකාරයත් ස්භාවික සෞන්දර්යයත් ඉහල මට්ටමකට ගෙන ඇත්තේ රටේ ශ්‍රේෂ්ඨ කවියන්ගේ ගීපද රචකයන්ගේ සිතුවිලි කොල්ලකමිනි. ඒ බවට නිදසුන් අමුතුවෙන් ගෙනහැර දැක්වීමට අවැසි නොවේ. මංද හන්තාන අඩවියට පෙම් බදින ගී පද රචකයන්ගේ හන්තාන අරබයා නිර්මාණය වූ සියළු නිර්මාන තරුණ වැඩිහිටි සියලුම ශ්‍රාවකයන්ගේ ආකර්ෂණයට ලක්ව තිබීමයි. එහිලා බිහිවූ සියළුම නිර්මාණ ආදරය, විරහව වැනි සමස්ථයගේ හැගීම් වලට කාවැදෙන නිර්මාණ වීම මෙයට හේතුවේ.


වසන්තය උදාවෙත්ම මේ පරිසරයේ සොදුරු බව තව තවත් වැඩිවන්නේ පේරාදෙණිය සරසවි බිමේත් උද්භිත උද්‍යානයෙත් ඇති දැවැන්ත වෘක්ෂ වටා එතී ඇති. එහි පාලනය තමන් වෙත ගෙන ඇති එක් ශාඛ විශේෂයක් නිසාය. ආක්‍රමණික ශාකයක් වූ මෙය කිසිසේත්ම ආක්‍රමනය වන ශාක වලට බලපෑමක් සිදුනොවන අතර එයින් වසන්තයේ උදාවත් සමග පුෂ්පිත වන කහ පැහැති මල් විශේෂය සොභා සෞන්දර්යට පුදුමාකාර සුන්දරත්වයක් මුසු කරයි. රොබරෝසියා ශාඛයේ මල් සමගම සොදුරු ආක්‍රමණිකයාගේ මල් ඒ ප්‍රදේශයට මුහුකරන චමත්කාරය දුටු දනන්ගේ සිතුවිලි නිතැතින් කොල්ලකෑමට ලක්වීම අවිවාදයි. දුටුවන් ඒ සුන්දරත්වට වහ වැටීම පුදුමයක් නොවේ.






















ඇතැම් ඡායා රූ අයිතිය - රන්දුනු යසරංග

Monday, April 21, 2014

සම සෞඛ්‍යයට අවුරුදු 4ක් අකැපද???


එදා සිට අද දක්වා ආණ්ඩු බලය ලැබූ ධනපති පාලකයන්ගේ ගොදුරු වූයේ රටේ ජීවත්වන මිනිසුන්ට පෙර බිහිවූ රජයකින් නොමිලයේ ලැබා දුන් දෙයක් ඇත්නම් එය කප්පාදුකිරීම සිදු කෙරෙන තුරු අලුතෙන් බිහිවූ ආණ්ඩුවට ඒ ආණ්ඩුව වටා ගොනු වී සිටින දේශමාමකකයන්ට නින්ද යන්නේ නැත. අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටකි. හැබැයි කනගාටුදායක සිදුවීම එය රටේ ව්‍යවස්ථාවට පමනක් සීමා වී තිබීමයි. මෙසේ එක්ක එක් විෂය පථයන්ගෙන් නිර්මාණය වූ නිදහස් සේවාවන් දැන් සීඝ්‍රයෙන් කප්පාදුවට ලක්වෙයි. එසේ සීඝ්‍ර කප්පාදුව සිදුවන නිදහස් සේවාවන් කිහිපයක් ලිපිය ඉදිරියට ගෙන යාමේ පහසුවට පහලින් ලියමි.

  ·         නිදහස් සෞඛ්‍යය සේවාව
  ·         සමෟද්ධි සේවාව
  ·         ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය
  ·         නිදහස් අධ්‍යාපන ක්‍රමය

මේ එසේ කප්පාදුවන් සිදුවූ සේවාවන් කිහිපයක් පමණි. මීට අමතරව 2002 ආණ්ඩුව කරන රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස විසින්ද සේවාවන් ගනනාවක් කප්පාදුවකට ලක්කරේය. එයින් ප්‍රමුඛතම ලෙස දැක්විය හැක්කේ රාජ්‍ය සේවයයි. නමුත් වත්මන් ආණ්ඩුවේ ඥාති සංග්‍රහය නිසා දැන් නම් රාජ්‍ය සේවය ශක්තිමත්ය.
එහෙත් පෙර සදහන් කල සේවා තවමත් පණ අදින ලෙඩුන්ය. මිය යෑම නිශ්චිතය. එහෙත් එහි කාලය කීම අපහසුය. මා මෙම ලිපිය ඔස්සේ දිග හරින්නේ සමසෞඛ්‍ය උපාධි කප්පාදුවයි එනම් සීඝ්‍ර කප්පාදුව සිදුවන නිදහස් අධ්‍යාපන ක්‍රමය පිළිබදවයි.

නිදහස් අධ්‍යාපන අයිතිය ලැබෙන්නේ සී ඩබ්ලිව් ඩබ්ලිව් කණ්නංගර මහාතා රාජ්‍ය මන්ත්‍රන සභාවට ඉදිරිපත් කල යෝජනාවකට අනුවයි. එහෙත් එය ඔහුගේ සංකල්පයක් ලෙස හැදින්වීම අනුවන ක්‍රියාවකි. නිදහස් අධ්‍යාපන අයිතියක් ඉල්ලා සමාජයෙන් ආ දැඩි ඉල්ලීම ඉවතලිය නොහැකි වූ විට එතුමා විසින් එම යෝජනාව සභාගත කරයි. කෙසේහෝ ඔහු නිදහස් අධ්‍යාපනයේ පියාය.

එලෙස අපිට අපේ මිනිසුන්ගේ නැගිටීමෙනුත් කණ්නංගර මහතාගේ දේශපාලන මැදිහත්වීමෙනුත් උරුම වූ නිදහස් අධ්‍යාපන ක්‍රමය මෙලෙස කප්පාදු කිරීම් සිදුකරන්නේ එක් එක් න්‍යාය පත්‍ර වලට යැයි සමස්ථයේ මතය බවට මේ වන විට පත්ව තිබෙනවා. එයට ප්‍රධනතම හේතුවක් ලෙස වත්මන් උසස් අධ්‍යාපන ක්‍රමය පාලනය කරන පාලකයන්ගේ හැසිරීම් සදහන් කල හැකිය. රාජ්‍ය සරසවි පද්ධතිය වසාගෙන බිහිවන උපාධී පිරිනමන විදෙස් සරසවි ශාඛා සීඝ්‍ර වර්ධනයක් සිදුවෙමින් පවතී. එසේ බිහිවන සරසවි වලට සිසුන් ඇද ගැනීමේ ක්‍රියාවලියේ බරපැවද දරන්නේ උසස් අධ්‍යාපන පාලකයන් විසින්ම වීම මෙහි දැකිය හැකි පොදු ලක්ෂණයයි. සරසවි තුල නිදහස බුක්ති විදිමින් සිටි සිසුන් දැඩි පාලනයකට එක්කරමින් සිසුන් රාජ්‍ය සරසවි බිම අතහැර යන තත්වයකට පත්ව තිබේ. එමෙන්ම සරසවි උපාධි පාඨමාලා නිශ්චිත කාල රාමුවකට සිදු නොකිරීමත් මෙහි තවත් ඛේදනීය තත්වයකි.

එක් එක් උපාධී පාඨමාලාවේ සාර්ථකත්වයට මෙන්ම එහි ප්‍රමිතිය රදාපවත්වා ගැනීමට නිශ්චිත කාල සීමාවක් පනවා තිබේ. එය,

කලා සාමාන්‍ය උපාධිය               - වසර 3
කලා විශේෂ උපාධිය                   - වසර 4
සමසෞඛ්‍ය                                - වසර 4

ලෙස උපාධි පාඨමාලා කිහිපයක් දැක්විය හැක. මෙලෙස උපාධියට සීමා පනවා ඇත්තේ සිසුන්ගේ කාලය අපතේ යැවීමට නොවන අතර එහි ගුණාත්මක භාවය සහතික කිරීමටයි.
මෙහි සදහන් වන සමසෞඛ්‍ය උපාධි පාඨමාලාව යම් කාලයක් දක්වා නියමිත ප්‍රමිතියට අනුකූලව සිව් අවුරුදු පාඨමාලාවක් ලෙස අධ්‍යන කටයුතු සිදුකරත් මේ වන විට බලධාරීන්ගේ හිතුවක්කාර තීරන වල ප්‍රථිපලයක් ලෙස වසර 3ක් දක්වා අඩුකර තිබෙන අතර එය දැන් සමාජයේ වඩාත් කතාබහකට ලක්ව ඇති ප්‍රශ්නයක් ලෙස සදහන් කල හැක. පාලකයන්ගේ හිතුවක්කාර ක්‍රියාකලාපය නිසා මේ වන විට දින ගනනක සිට සමසෞඛ්‍ය උපාධි අපේක්ෂකයන්ට හරි හමන් කෑමක් නැත. ඔවුන් දින සති මාස ගනනින් අයිතිය වෙනුවෙන් සත්‍යග්‍රහයක නිරතවීය. ඔවුන්ට නින්දක් නැත. ඇස් පියවෙන සැනින් ආණ්ඩුවේ මැරයන්ගෙන් ලැබිය හැකි තර්ජනයක් හිතේ රදවා ඔවුන් තමන්ගේ සටන මෙහෙයවයි.

ආණ්ඩුව කරවන මහරජු තම පුතුන්ට අළුත් අවුරුද්දට රජමැදුරේ කිරිබත් කවද්දි රටේ අනාගතය බාර ගැනීමට සිටින බුද්ධිමත් නිසා ක්‍රමවේදයට සරසවි ප්‍රවේශය ලබා සිටින තරුණ පිරිස මහපාරේය. අවුරුදු දිනයේ වෙනදාට ගෙදරට වෙලා අම්මගෙ අතින් කිරිබත් කාපු තරුණ තරුණියන්ට කිරිබත් කවන්නට අද ඒ අම්මලාට තාත්තලාට මහපාරට එන්න සිදුවිය. ඒ රටේ කරුමයටය. රට පාලනය කරන උසස් අධ්‍යාපනය පාලනය කරන (මන්ද)බුද්ධිකයන්ගේ ක්‍රියාකලාපය නිසාය. මේ වන විට මේයට විරුද්ධව පේරාදෙණිය සරසවිය අසල, ගාල්ල බස් නැවතුම අසල, කොටුව දුම්රිය ස්ථානය අසල එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදනය අසල විරෝදතා සත්‍යග්‍රහ සිදුවෙමින් පවතී. එහෙත් මුනිවත රකින පාලකයන් නිහඩය.

ආණ්ඩුව සිදුකරන නිදහස් අධ්‍යාපන කප්පාදුවේ ආසන්නතම ගොදුර බවට පත්ව ඇති සම සෞඛ්‍ය උපාධිය රැක ගත යුතුය. පරපුරෙන් පරපුරට එය රැගෙන යා යුතුය. ආස්චර්යවත් දිවයිනකට සුපිරි ගනයේ සෞඛ්‍ය සේවාවක් තිබිය යුතුය. සෞඛ්‍ය සේවය එසේ සුපිරි බවට රැගෙන යන්නට මේ සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ දායකත්වය අනිවාර්යය. පෙර නිශ්චිත ක්‍රමයකට සිදුකල පරිපූර්නව සිදුවූ නිසි ප්‍රමිතියකින් යුත් සමසෞඛ්‍ය උපාධිය තව දුරටත් එලෙසම තිබීම එසේ වන්නට හේතුපාදක වනු ඇත. රටේ බුද්ධිමත් පිරිසගේ මතය මෙම උපාධිය වසර 4ක් දක්වා පෙර තිබූ අයුරින් සිදුවිය යුතුය. නිදහස් සෞඛ්‍ය සේවාවත් නිසි ප්‍රමිතියකින් යුත් උපාධියක් ලබා ගැනීමට එය වසර 4ක් දක්වා දීර්ඝ විය යුතුය.

සටන මෙහෙය වන සිසු විරුවන්ට විප්ලවීය ආචාරය..


පුත,
හෙට උපදින විට
පෙර දිනෙන්
ළා රත් පැහැ අරුණලු
අලුත් ඉරක් පායනු ඇත
ඒ ඉර රත් පැහැ වුණේ
ඔබ වෙනුවෙන් මේ පරපුර
අප
වැගුරූ ලේ වලිනි..... 

-මහගම සේකර-

සටහන - ව්න්දික රත්නායක