ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Thursday, April 24, 2014

සොදුරු ආක්‍රමණිකයාගේ සිතුවිලි දඩයම


ලංකාවේ සොදුරු පෙම්වතුන් බොහොමයකගේ ප්‍රේම පාරාදීසය. ආදරණීය හිත් එක්වෙන දොඩමළු වෙන බොහෝ ආදර කතා වල ඇරඹුම මෙහිය. ඒ සුන්දර පෙම්වතුන්ගේ ආදරණීය පූජාසනය. හන්තාන අඩවියයි. හන්තානේ සුන්දරත්වයක් ඒ අසලින් නිසලව ගලා බසින මහවැලි ගංගාව ඒ ප්‍රදේශයේ අලංකාරයත් ස්භාවික සෞන්දර්යයත් ඉහල මට්ටමකට ගෙන ඇත්තේ රටේ ශ්‍රේෂ්ඨ කවියන්ගේ ගීපද රචකයන්ගේ සිතුවිලි කොල්ලකමිනි. ඒ බවට නිදසුන් අමුතුවෙන් ගෙනහැර දැක්වීමට අවැසි නොවේ. මංද හන්තාන අඩවියට පෙම් බදින ගී පද රචකයන්ගේ හන්තාන අරබයා නිර්මාණය වූ සියළු නිර්මාන තරුණ වැඩිහිටි සියලුම ශ්‍රාවකයන්ගේ ආකර්ෂණයට ලක්ව තිබීමයි. එහිලා බිහිවූ සියළුම නිර්මාණ ආදරය, විරහව වැනි සමස්ථයගේ හැගීම් වලට කාවැදෙන නිර්මාණ වීම මෙයට හේතුවේ.


වසන්තය උදාවෙත්ම මේ පරිසරයේ සොදුරු බව තව තවත් වැඩිවන්නේ පේරාදෙණිය සරසවි බිමේත් උද්භිත උද්‍යානයෙත් ඇති දැවැන්ත වෘක්ෂ වටා එතී ඇති. එහි පාලනය තමන් වෙත ගෙන ඇති එක් ශාඛ විශේෂයක් නිසාය. ආක්‍රමණික ශාකයක් වූ මෙය කිසිසේත්ම ආක්‍රමනය වන ශාක වලට බලපෑමක් සිදුනොවන අතර එයින් වසන්තයේ උදාවත් සමග පුෂ්පිත වන කහ පැහැති මල් විශේෂය සොභා සෞන්දර්යට පුදුමාකාර සුන්දරත්වයක් මුසු කරයි. රොබරෝසියා ශාඛයේ මල් සමගම සොදුරු ආක්‍රමණිකයාගේ මල් ඒ ප්‍රදේශයට මුහුකරන චමත්කාරය දුටු දනන්ගේ සිතුවිලි නිතැතින් කොල්ලකෑමට ලක්වීම අවිවාදයි. දුටුවන් ඒ සුන්දරත්වට වහ වැටීම පුදුමයක් නොවේ.






















ඇතැම් ඡායා රූ අයිතිය - රන්දුනු යසරංග

Monday, April 21, 2014

සම සෞඛ්‍යයට අවුරුදු 4ක් අකැපද???


එදා සිට අද දක්වා ආණ්ඩු බලය ලැබූ ධනපති පාලකයන්ගේ ගොදුරු වූයේ රටේ ජීවත්වන මිනිසුන්ට පෙර බිහිවූ රජයකින් නොමිලයේ ලැබා දුන් දෙයක් ඇත්නම් එය කප්පාදුකිරීම සිදු කෙරෙන තුරු අලුතෙන් බිහිවූ ආණ්ඩුවට ඒ ආණ්ඩුව වටා ගොනු වී සිටින දේශමාමකකයන්ට නින්ද යන්නේ නැත. අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටකි. හැබැයි කනගාටුදායක සිදුවීම එය රටේ ව්‍යවස්ථාවට පමනක් සීමා වී තිබීමයි. මෙසේ එක්ක එක් විෂය පථයන්ගෙන් නිර්මාණය වූ නිදහස් සේවාවන් දැන් සීඝ්‍රයෙන් කප්පාදුවට ලක්වෙයි. එසේ සීඝ්‍ර කප්පාදුව සිදුවන නිදහස් සේවාවන් කිහිපයක් ලිපිය ඉදිරියට ගෙන යාමේ පහසුවට පහලින් ලියමි.

  ·         නිදහස් සෞඛ්‍යය සේවාව
  ·         සමෟද්ධි සේවාව
  ·         ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය
  ·         නිදහස් අධ්‍යාපන ක්‍රමය

මේ එසේ කප්පාදුවන් සිදුවූ සේවාවන් කිහිපයක් පමණි. මීට අමතරව 2002 ආණ්ඩුව කරන රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස විසින්ද සේවාවන් ගනනාවක් කප්පාදුවකට ලක්කරේය. එයින් ප්‍රමුඛතම ලෙස දැක්විය හැක්කේ රාජ්‍ය සේවයයි. නමුත් වත්මන් ආණ්ඩුවේ ඥාති සංග්‍රහය නිසා දැන් නම් රාජ්‍ය සේවය ශක්තිමත්ය.
එහෙත් පෙර සදහන් කල සේවා තවමත් පණ අදින ලෙඩුන්ය. මිය යෑම නිශ්චිතය. එහෙත් එහි කාලය කීම අපහසුය. මා මෙම ලිපිය ඔස්සේ දිග හරින්නේ සමසෞඛ්‍ය උපාධි කප්පාදුවයි එනම් සීඝ්‍ර කප්පාදුව සිදුවන නිදහස් අධ්‍යාපන ක්‍රමය පිළිබදවයි.

නිදහස් අධ්‍යාපන අයිතිය ලැබෙන්නේ සී ඩබ්ලිව් ඩබ්ලිව් කණ්නංගර මහාතා රාජ්‍ය මන්ත්‍රන සභාවට ඉදිරිපත් කල යෝජනාවකට අනුවයි. එහෙත් එය ඔහුගේ සංකල්පයක් ලෙස හැදින්වීම අනුවන ක්‍රියාවකි. නිදහස් අධ්‍යාපන අයිතියක් ඉල්ලා සමාජයෙන් ආ දැඩි ඉල්ලීම ඉවතලිය නොහැකි වූ විට එතුමා විසින් එම යෝජනාව සභාගත කරයි. කෙසේහෝ ඔහු නිදහස් අධ්‍යාපනයේ පියාය.

එලෙස අපිට අපේ මිනිසුන්ගේ නැගිටීමෙනුත් කණ්නංගර මහතාගේ දේශපාලන මැදිහත්වීමෙනුත් උරුම වූ නිදහස් අධ්‍යාපන ක්‍රමය මෙලෙස කප්පාදු කිරීම් සිදුකරන්නේ එක් එක් න්‍යාය පත්‍ර වලට යැයි සමස්ථයේ මතය බවට මේ වන විට පත්ව තිබෙනවා. එයට ප්‍රධනතම හේතුවක් ලෙස වත්මන් උසස් අධ්‍යාපන ක්‍රමය පාලනය කරන පාලකයන්ගේ හැසිරීම් සදහන් කල හැකිය. රාජ්‍ය සරසවි පද්ධතිය වසාගෙන බිහිවන උපාධී පිරිනමන විදෙස් සරසවි ශාඛා සීඝ්‍ර වර්ධනයක් සිදුවෙමින් පවතී. එසේ බිහිවන සරසවි වලට සිසුන් ඇද ගැනීමේ ක්‍රියාවලියේ බරපැවද දරන්නේ උසස් අධ්‍යාපන පාලකයන් විසින්ම වීම මෙහි දැකිය හැකි පොදු ලක්ෂණයයි. සරසවි තුල නිදහස බුක්ති විදිමින් සිටි සිසුන් දැඩි පාලනයකට එක්කරමින් සිසුන් රාජ්‍ය සරසවි බිම අතහැර යන තත්වයකට පත්ව තිබේ. එමෙන්ම සරසවි උපාධි පාඨමාලා නිශ්චිත කාල රාමුවකට සිදු නොකිරීමත් මෙහි තවත් ඛේදනීය තත්වයකි.

එක් එක් උපාධී පාඨමාලාවේ සාර්ථකත්වයට මෙන්ම එහි ප්‍රමිතිය රදාපවත්වා ගැනීමට නිශ්චිත කාල සීමාවක් පනවා තිබේ. එය,

කලා සාමාන්‍ය උපාධිය               - වසර 3
කලා විශේෂ උපාධිය                   - වසර 4
සමසෞඛ්‍ය                                - වසර 4

ලෙස උපාධි පාඨමාලා කිහිපයක් දැක්විය හැක. මෙලෙස උපාධියට සීමා පනවා ඇත්තේ සිසුන්ගේ කාලය අපතේ යැවීමට නොවන අතර එහි ගුණාත්මක භාවය සහතික කිරීමටයි.
මෙහි සදහන් වන සමසෞඛ්‍ය උපාධි පාඨමාලාව යම් කාලයක් දක්වා නියමිත ප්‍රමිතියට අනුකූලව සිව් අවුරුදු පාඨමාලාවක් ලෙස අධ්‍යන කටයුතු සිදුකරත් මේ වන විට බලධාරීන්ගේ හිතුවක්කාර තීරන වල ප්‍රථිපලයක් ලෙස වසර 3ක් දක්වා අඩුකර තිබෙන අතර එය දැන් සමාජයේ වඩාත් කතාබහකට ලක්ව ඇති ප්‍රශ්නයක් ලෙස සදහන් කල හැක. පාලකයන්ගේ හිතුවක්කාර ක්‍රියාකලාපය නිසා මේ වන විට දින ගනනක සිට සමසෞඛ්‍ය උපාධි අපේක්ෂකයන්ට හරි හමන් කෑමක් නැත. ඔවුන් දින සති මාස ගනනින් අයිතිය වෙනුවෙන් සත්‍යග්‍රහයක නිරතවීය. ඔවුන්ට නින්දක් නැත. ඇස් පියවෙන සැනින් ආණ්ඩුවේ මැරයන්ගෙන් ලැබිය හැකි තර්ජනයක් හිතේ රදවා ඔවුන් තමන්ගේ සටන මෙහෙයවයි.

ආණ්ඩුව කරවන මහරජු තම පුතුන්ට අළුත් අවුරුද්දට රජමැදුරේ කිරිබත් කවද්දි රටේ අනාගතය බාර ගැනීමට සිටින බුද්ධිමත් නිසා ක්‍රමවේදයට සරසවි ප්‍රවේශය ලබා සිටින තරුණ පිරිස මහපාරේය. අවුරුදු දිනයේ වෙනදාට ගෙදරට වෙලා අම්මගෙ අතින් කිරිබත් කාපු තරුණ තරුණියන්ට කිරිබත් කවන්නට අද ඒ අම්මලාට තාත්තලාට මහපාරට එන්න සිදුවිය. ඒ රටේ කරුමයටය. රට පාලනය කරන උසස් අධ්‍යාපනය පාලනය කරන (මන්ද)බුද්ධිකයන්ගේ ක්‍රියාකලාපය නිසාය. මේ වන විට මේයට විරුද්ධව පේරාදෙණිය සරසවිය අසල, ගාල්ල බස් නැවතුම අසල, කොටුව දුම්රිය ස්ථානය අසල එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදනය අසල විරෝදතා සත්‍යග්‍රහ සිදුවෙමින් පවතී. එහෙත් මුනිවත රකින පාලකයන් නිහඩය.

ආණ්ඩුව සිදුකරන නිදහස් අධ්‍යාපන කප්පාදුවේ ආසන්නතම ගොදුර බවට පත්ව ඇති සම සෞඛ්‍ය උපාධිය රැක ගත යුතුය. පරපුරෙන් පරපුරට එය රැගෙන යා යුතුය. ආස්චර්යවත් දිවයිනකට සුපිරි ගනයේ සෞඛ්‍ය සේවාවක් තිබිය යුතුය. සෞඛ්‍ය සේවය එසේ සුපිරි බවට රැගෙන යන්නට මේ සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ දායකත්වය අනිවාර්යය. පෙර නිශ්චිත ක්‍රමයකට සිදුකල පරිපූර්නව සිදුවූ නිසි ප්‍රමිතියකින් යුත් සමසෞඛ්‍ය උපාධිය තව දුරටත් එලෙසම තිබීම එසේ වන්නට හේතුපාදක වනු ඇත. රටේ බුද්ධිමත් පිරිසගේ මතය මෙම උපාධිය වසර 4ක් දක්වා පෙර තිබූ අයුරින් සිදුවිය යුතුය. නිදහස් සෞඛ්‍ය සේවාවත් නිසි ප්‍රමිතියකින් යුත් උපාධියක් ලබා ගැනීමට එය වසර 4ක් දක්වා දීර්ඝ විය යුතුය.

සටන මෙහෙය වන සිසු විරුවන්ට විප්ලවීය ආචාරය..


පුත,
හෙට උපදින විට
පෙර දිනෙන්
ළා රත් පැහැ අරුණලු
අලුත් ඉරක් පායනු ඇත
ඒ ඉර රත් පැහැ වුණේ
ඔබ වෙනුවෙන් මේ පරපුර
අප
වැගුරූ ලේ වලිනි..... 

-මහගම සේකර-

සටහන - ව්න්දික රත්නායක

Monday, April 7, 2014

මේ ඔහුයි...

ඔවුන් උගුර ලේ රහ වන තෙක්
කෑගැහුවේ අපි වෙනුවෙනි
තමන් ගැන නොසිතා
සටන් බිමේ පෙරමුණ ගත්තේ
අපි වෙනුවෙන්...
අවසන් වරට ඔවුන්ගේ උපාධියට
තිත තබා වෙහෙසවූයේ මතු පරපුරක් වෙනුවෙනි...
එමෙන්ම තම ජීවිතයද
පරිත්‍යාග කලේ අපි වෙනුවෙනි...
නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙනි...
ඉතිං සොයුරනේ...
නිහඩව සමුගෙන ගියත්
මිනීමරු පාලනයේ උදහසින්
අපේ හදවත් තුල
අපේ සරසවි බිම් තුල
ඔබ තවමත් ජීවමානයි...

මීට වසර දෙකකට ආසන්න කාලය ලාංකේය සරසවි තුල අසාධාරන පාලන ක්‍රම මෙන්ම නිදහස් අධ්‍යාපනය විකුනන්ට උත්සහ දැරූ වත්මන් ආණ්ඩුවට එරෙහිව සරසවි බිම්වල ශීෂ්‍යයන් මෙන්ම ආචාර්යවරු තම විරෝධතා දැක්වූ දැවැත්ත අරගලයක ස්වර්ණමය අවදියයි. රටේ බොහෝ දෙනාගේ හිස් මොල ගෙඩි තුලට ලාංකේය අධ්‍යාපනයේ වත්මන් ඛේදවාචකය අකුරක් නෑර තේරෙන සිංහලෙන් කියන්නට සිසුන් විදි දිගේ මහජන දැනුවත්කිරීම් දැවැන්ත උද්ඝෝෂන ගනනාවක නිරත විය. ඒ රාජ්‍ය මර්දනය උපරිමයෙන් ක්‍රියාත්මක වන තත්වයක් තුලය. සාමාන්‍ය රජයේ සේවකයාගේ සිට රාජ්‍ය සේවයේ හිනිපෙත්තට ගමන් කල අය වලුන්ගේ පවා ශක්තිය ලැබුනු යුගයක් ලෙස ඒ කාලය දක්වන්නට පුළුවනි.
මට ඔහු හමුවන්නේ නිදහස් අධ්‍යාපන කප්පාදුවට එරෙහිව හයිඩ් පාක් හිදී පැවැත්වූ විශ්වවිද්‍යාල ආචාරවරුන්ගේ රැස්වීමක් ආරම්භවන්නට ටික වේලාවකට පෙරය. හැදැදැඩි සිරුරක් නොමැති වුනත් ඔහුගේ හදවත තුල ලියැවී  කියන දේ  අපි ඕනෙම කෙනෙක්ට තේරුම් ගන්න ඒ තරම් වෙලාවක් යන්නෙ නෑ. ඒ වෙද්දි ඔහු පංති තහනමට ලක්වෙලා. හැබැයි ඒ රටේ දුවාදරුවන්ගේ අයිතිය වෙනුවෙන් හඩනගන්නට ගොස්ය. ඒවගේම ඒ වෙනුවෙන් සිදුකල විරෝදතා වලින් වත්මන් පාලකයන්ට හොදටම රිදුනු නිසාය. වර්තමාන සිසු නායකයින් මුහුන දෙන ඛේදවාචකය මෙයයි. කරන බලුකම් සේරම ඉවසගෙන හිටියානම් ඔහුත් අද උපාධියක් අරං රට පානය කරන නිවටයින්ගේ පා දෝවනවා සහතිකයි. ඔහු එසේ වුවේ නෑ. ඔහු අපි වෙනුවෙන් හඩ නැගුවා. ඔහු ගැන නොසිතා. ඔහු සරසවියට පැමිණි දේද අමතක කර මතුපරපුරක ජයක් උදෙසා කටයුතු කලාය. ඔහු ශ්‍රේෂ්ට විරුවෙකි.
ඇත්තටම එක පාරටම ඔහු අපි ඉන්න දිහාවට එද්දි ඔහුගෙ නම කියද්දි මට පුදුම හිතුනා ඒ වගේම හදවත කැකෑරෙන වේදනාවක් දැනුනා.
අපි පාවහන් පලදින්නේ පා ආරක්ෂාකරගන්නයි, අදින්නෙ විලිවසාගන්නයි. හැබැයි ඒ ශ්‍රේෂ්ඨ පුද්ගලයාගේ පාවහන් යුගල ඇද සිටින ඇදුම් දකිද්දි මට මටත් හොරා ඇස් දෙකට කදුලු ආවා කිව්වොත් මම ලැජ්ජවිය යුතු නෑ. ඒ මට ඔහුව ඒ හෙලාවෙ හොදටම දැනුනා. මට මෙගේ සරසවි මිතුරෙක් කියනවා මතකයි බොහෝ කාලෙකට ඉහත,
මචං අපේ හැම සටනකම ආරම්භය @@@@ අයියා තමයි, අදින පෝස්ටරේ ගහන්න කවුරුත් නැති වුනත් එයා තනියම හරි ඒ දේ කරනවා. ඇත්තටම ඒ ගැන කියන්නනම් වචන මදි. ඒ හැම කැප වීමක්ම අපි වෙනුවෙන්...
ඇත්ත එදා ඒ කිව්ව දේ මම තේරුම් ගත්තෙ ඔහුයි මායි වචනයක් හරි කතා කරපු පලවෙනි දවසෙ. කැඩුනු පාවහන් යුගලකින් පා ආවරනය කරගනිමින් , ඉරුණු ඩෙනිමකින් විලිවසා තමන් ගෙන නොසිත සහෝදර ශිෂ්‍ය පරපුරක් වෙනුවෙන් ඔහු හීන දිකිනවා.්
කාලයක් ගෙවිල යද්දි අපි සටනේ උච්චතම අවදියකට අවතීර්ණ වෙනවා. ඒ පේරාදෙණියේ සිට කොළඹට සිසු පාගමකන් සංවිධානය වෙනවා. එහි මූලිකත්වය ගන්නට ඒ වෙද්දි ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දුන් සංජීව බංඩාර සොයුරා නොමැති වෙනවා. ඒ ඔහු ඒ වෙද්දි රාජ්‍ය මර්දනය හමුවේ සිරගතව සිටි නිසාය. පේරාදෙණිය සරසවියෙන් ඇරබි මේ පාගමනට අමතරව ආචාර්යවරුන්ද ගාල්ලේ සිට කොළඹට පාගමනක් ආරම්භ කරනවා. ඒ සටනේ අරමුන වන්නේ නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපන නිදහසත් වෙනුවෙන් පෙළගැසෙමු යන්නයි. ඇත්තටම විශාල සිසු සහභාගිත්වයකින් පාගමන ඇරඹෙනවා. එහි මූලිකත්වය මෙන්ම සමස්ථ පාගමනේ බර තම කරට ගන්නට මා මේ කියන ශ්‍රේෂ්ඨ සිසු විරුවාටත් සිදුවෙනවා. ඔහු නොපැකිලිව ඒ දේ බාරගන්නවා.
දින එකක් දෙකක් ගතවෙනවා. තුන් වෙනි දවස උදාවෙනවා. මුළු පරිසරයම ගුප්ත මූසල බවක්. අදුරු අහසක් අහස කම්පාවෙනවා මේ ශ්‍රේෂ්ඨ සිසුවිරුවන්ගේ දහදිය කදුලු මතින් පෙරට ඇදෙන සිසු ගග දැක. තුන්වෙනි දිනය නිමාවෙනවා. හතරවෙනි දිනයට සූදානම් විය යුතුය. තව දින දෙකකින් ගමන අවසන්ය. ඒ වෙනුවෙන් දිවා රෑ වෙහෙස වූවන් අතර ඔහුගේ නම ඉහලින්ම ලියැවී තිබින. ඔහු විරුවෙකි සැබෑ විරුවෙකි.
රැය උදාවෙනවා. ඊලග දිනට අවශ්‍ය අත්පත්‍රිකා ගෙන ඒම සදහා ඒවා මුදුනය වූ මුද්‍රනාලය වෙත යන්න කාට හෝ ඉදිරිපත් වෙන්න වෙනවා. ඔහු එයට ඉදිරිපත් වෙනවා. ඔහුට සහය වන්නට රුහුණු සරසවියේ සිසු නායකයෙක් එකතු වෙනවා. ඔවුන් අරමුණ වෙත ඇදෙනවා. ඔවුන්ගේ ඒ ගමන ජීවිතයේ නිමාව බව දැන සිටියානම් කිසිවෙකු ඔවුන් දෙදෙනා ඒ ගමන නොයවන්නට ඉඩතිබුනා. සියල්ල සිදුවිය. ඔවුන් අනතුරකට ලක්වෙනවා. ඒ බව ඔවුන්ගේ සරසවි සහෘදයන් දැන සිටින්නේ නෑ. ඔවුන් මොවුන් දෙදෙනාට ඇමතුම් ලබා ගන්නවා. කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම නිසා ඔවුන් සොයා පිරිසක් ගමන් කරනවා. ඔවුන් අනතුර සිදුවූ ඉඹුල්ගොඩ ප්‍රදේශයට ලගා වෙනවා. ඔවුන් කිසිදෙයක් කලින් දැන සිටියේ නෑ. හැබැයි ඒ වෙද්දි ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ සහෘදයන් දෙදෙනෙක් සටන් බිමෙන් උදුරාගන්නවා. මේ අනතුරෙන් ආදරණීය සොයුරන් දෙදෙනෙක් ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් තම ජීවිතය පුදකරනවා. අනතුර ගැන විවිධ මත පලවෙනවා. රජය මෙය හදිසි අනතුරක් ලෙස හුවා දැක්වුවත් විවිධ පාර්ශව වලින් මේ ගැන සැකය මතු කරනවා. සැබැවින්ම මාද විශ්වාස කරන්නේ එය ඔවුන් අපෙන් උදුරා ගැනීමට කල පහත් ක්‍රියාවක් කියාය. අවසන් වශයෙන් ඔහු සමුගන්නවා තවත් සහෘදයෙකු සමග. සටන අතර තුර ඔහුට සිදුවෙනවා තම සහෘදයන්ගේ කර මතින් අවසන් ගමන් යන්න. ඔව් ඔහු යන්න යනවා. හැබැයි ඔහුගේ මතකය ලාංකේය සිසු ව්‍යාපාරයන් කිසිදා අමතක නොකරනු ඇත.

ඔහු
මාතලන්
තමන්ගේ ජීවිතය ශිෂ්‍ය පරපුර වෙනුවෙන් පුජාකල
ඔහු
මාතලන්
කැඩුනු බාටා දෙකක් කකුල් වල දවටා
ඉරුණු ඩෙනිමෙන් විලිවසා
සිසු සටනට පන පෙවූ
ඔහු
මාතලන්
ආදරණීය
මාතලන්

මේ ඔහු වෙනුවෙන්

ජිම් එක ලග ඇහැළ ගහ
මල් වරලා ආයෙමත්
කැලණි කන්දේ මැයි මල්
රතු පාවඩ එළලා..........

නුඹ නොදැකපු දෙවැනි පරම්පරාවත්
කැළණි කන්ද නගිනවා....
කන්ද පාමුල අළුත් තොරනක් බැදලා
කිරිබත් දීල උන්ව පිළිගත්තා

අරගල බිම උණුසුම් වෙලා
සරසවිය පුරාම කටවුට් පෝස්ටර් පිරිලා
කොල්ලො වගේම කෙල්ලොත්
එකම ජවයකින් සටන් කරනවා.....

එදා front banner එක ඉදිරියෙන්
උඹ උන්නු තැන අළුත් උන් අරං
තෙල් බැම්මෙ උන් නගන හඩ තුලින්
නුඹේ හඩ යලි යලිත් ඇසෙනවා...

මරදානේ දුමාරය සරසවිය වසාගත්
හීතලව ගල් ගැසුනු අතීතය සිහිවෙනවා
දුෂ්කරම අවදියක දහිරියෙන් සටන් කල
නුඹේ මතකය නිතර දැනෙනවා....

මහ හුගක් මහ සෙනග එන මේ සටන් දකින්නට
අනේ නුඹ හිටියානම් විටෙක මට සිතෙනවා
එදා නුඹ ලබා දුන් ආදර්ශයන් මතින්
සටන් බිම පෙරමුනේ අපිත් අද ඉන්නවා...

අප නමිව් නුඹ හෙලූ රුහිරු බිදු
අපේ ලේ නහර තුල හැමදාම දුවනවා
සටන් බිම අතනොහැර අපි එක්ක

අද නුඹත් අරගලය තුල ඉන්නවා දැනෙනවා...... 

Friday, April 4, 2014

එදා හන්තානමද??





සොදුරු බවින් පිරිණු
හදවත් වලින් පිරීගිය
නිසොල්මංය
ඒ සොදුරු
හන්තාන....

ජීවිතේ අපිට ලැබෙන දේවල් වලට වඩා අහිමි වෙන දේවල් වැඩියි. දේයක් ලබන්න නම් තවත් දෙයක් කැප කරන්න වෙනවා. ඒක පොදු න්‍යායක්. ආදරේ ජීවිතේට ඕනෙ. ඒත් කීයෙන් කී දෙනාද තමන් ආදරේ කරන අයව ඇත්තටම තමන්ගෙ කරගන්නෙ.

මේක වෙනම කතාවක්. මෙතනදි සමහර තැන් වලදි හිතෙයි

අපි දෙන්න
මුණගැසුණු
දොඩමලු වුනු
ආදරණීය හන්තානමද මේ,  කියලා...

කාලෙකට කලින් පේරාදෙණිය කැම්පස් එකේ මහා ශිෂ්‍ය සංගමයෙන් සංවිධානය කරපු සාහිත්‍ය උළෙලකට තෝරාගත් පාසැල් වලින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සහභාගී කරගන්නවා. කෑගල්ල, නුවර, මාතලේ ,ගම්පහ ආදී ප්‍රදේශ වල ජනප්‍රිය පාසැල් ගනනාවක් මේ සදහා සහභාගී වෙනවා. පේරාදෙණිය සරසවියේ එවකට පළමු වසරේ සිසුන් මෙම වැඩසටහන කැපවීමකින් කරනවා. ඔය අතරෙ ආගතුන්කයින් වුනු පාසැල් සිසුන්ට මේ වැඩසටහන පැවැත්වෙන දින දෙකේදී නායකත්වය එහෙමත් නැත්නම් පාසැල් කණ්ඩායම් මෙහෙය වන්න සරසවි සිසුන් කිහිප දෙනෙකුට භාරදෙනවා. පිට පලාත් වලින් ආපු අයට මේක අමුතුම අත්දැකීමක්. සමහර එවුන් පේරාදෙණිය කැම්පස් එකට පය තියන්නෙම එදා වීම විශේෂයක්...

ඔහු  විහග, ඔව් ඔහු එදා පේරාදේණිය කැම්පස් එකට එන්නෙ හිතේ කිසි බලාපොරොත්තුවක් තියාගෙන නෙමෙයි. තමන්ට හමුබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඔහු අදහස් කරගන්නවා. සාහිත්‍ය රසයෙන් පිරුණු අමුතුම ලෝකයක් ඔහු ඉදිරියේ.. ඔහු ගොඩක් සතුටින් ඒ ලෝකය භාර ගන්නවා. මම මේ කතාව ලියන මොහොතෙදිත් ඔහු කලාව සාහිත්‍ය රසවිදිනවා ඇති.

ඔහු හා සරසවියේ බොහෝ පිරිසක් එකතු වෙනවා. එය මේ වෙද්දිත් සදාකාලික සහෝදරත්වයක් ආදරණීය මිත්‍රත්වයක් විදියට පවතිනවා. ඔහු හා හිතවත් කම ගොඩනගා ගත් පිරිස අතර විශේෂ කෙනෙක් මුණගැසෙනවා. ඇය අමුතුම චරිතයක්. ඒත් විහග ඇයව තමන්ට ගොඩක් සමීපතමයෙක් කරගන්නවා. ඔහුවත් ඇයවත් නොදැනුවත්වම ඔවුන් වෙන් නොවන සහෝදරත්වයකින් බැදෙනවා. කවදාවත් මීට පෙර නොදුටු දෙදෙනෙක් පලවෙනි හමුවීමෙන්ම ඔවුනොවුන් කවදාවත් මේ සබදකම නැති නොකරගන්න කතිකා කරගන්නවා. ඒ දවස් වල හන්තාන අඩවිය ගොඩක් සුන්දරයි.

දින දෙකක වැඩසටහන අවසන් වෙනවා. සරසවියට ආගන්තුකයන් වූ පාසැල් සිසුන් සරසවියට තාවකාලිකව ආයුබෝවන් කියලා සරසවි බිමෙන් පිට වෙනවා. බොහෝ දෙනෙක් ඒ දිනයේ ඉදන් හීන මැව්වෙ කෙසේ හෝ තමන් සරසවි ප්‍රවේශය ලබාගෙන මෙම සරසවියටම පැමිණිය යුතුයි යන්නයි.

ඔවුන් යන්න යනවා. අළුතින් හදාගත්ත මිතුදම් එක්කම ඔවුන් යන්න යනවා. ඒ පිරිසත් එක්ක විහගත් යනවා. හැබැයි නාදුනන තරුණියක එක්ක ගොඩනගාගත්ත සහෝදරකමත් අරගෙනම යනවා. ඔවුන් එදායින් පසු නිතරම දුරකතන ඔස්සේ සම්බන්ධවෙනවා. නිවාඩු දවසක් තිබුනොත් විහග එදාට තමන්ගෙ සහෝදරිය බලන්න කැම්පස් එකට යනවා. ඔවුන් ගොඩක් ලංවෙනවා.

එකිනෙකාගෙ සතුට දුක වේදනාව ඔවුන් දෙදෙනා අතරේ බෙදාගන්නවා. ඔවුන් ගොඩක් සමීපයි. කාලයක් ගතවෙනවා. දවසක් විහග ඇයට ගත්තු ඇමතුමකට ඇයගේ දුරකතනයෙන් නාදුනන කටහඩකින් පිළිතුරු ලැබෙනවා. ඇය විහග එක්ක කතාකරනවා. විහග ඒ තම සරසවි මිතුරියගේ නංගි බව දැනගන්නවා.ඇය නිකිණි ඇය අක්කා වගේම විහගට ලං වෙනවා. ඔවුන් නිතරම කතාකරනවා. ටික කාලයක් යද්දි දෙදෙනාම නොදැනුවත්ව පෙම්වතුන් වෙනවා. ඇය ඔහුවත් ඔහු ඇයවත් නොදැක්කත් ඔවුන් එකිනෙකාට ආදරේ කරනවා. මේ වෙද්දි විහග උසස් පෙළ සිසුවෙක්.  නිකිණි සාමාන්‍ය පෙල ලියා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි කෙනෙක්. ඔවුන්ගෙ අදහස් දෙදෙනා අතරේ හුවමාරු වෙනවා. මේ බව නිකිණීගෙ සහෝදරිය දැනගන්නවා. ඇය මීට තදින්ම විරුද්ද වෙනවා. ඒත් මොවුන් තමන්ගෙ ආදරය කිසි දෙයක් ඉදිරියේ නවත්වන්න සූදානම් නෑ.

එක්තරා හැන්දෑවක ඔවුන් මුණගැසෙනවා. දෛවය ඔවුන්ව මුණගස්වන්නෙ පේරාදෙණිය සරසවිය තුලදිමයි. ඒ සරසවි එලිමහන් රංග පීඨයේ සංවිධානය කෙරුණු වේදිකා නාට්‍යයක් බැලීමටජ පැමිණි අවස්ථාවෙයි. ඔවුනොවුන් හොරැහෙන් ඔවුන් දෙස බලනවා. ඒක අමුතුම හැගීමක්. හන්තාන කදු වැටියෙන් වැසීගිය සරසවි බිම කවදාටත් වඩා එදා සුන්දර බවක් ගන්නවා.

කාලය ගතවෙනවා...
ටිකින් ටික..
ගිම්හාන
සරත්
සීත සෘතු පහුකරන්
ආයෙත් වසන්තය
උදාවෙනවා

මේ දෙදෙනාගේ ආදරය තාමත් එහෙමයි. විහග උසස්පෙල විභාගෙට මහන්සි වෙනවා. ඒ අතර නිකිණි ගැනත් පුළූවන් හැම වෙලේම හොයල බලනවා. මේ වෙද්දි මේ දෙන්නගෙ ආදරේට වටෙන්ම විෂබීජ ගලා එමින් තිබුනා. ඒත් විස්වාසය මත පදනම් වුනු ආදරේ ඒ විදියටම මහවැලි ගග හන්තාන අඩවියෙන් ඉදිරියට ගලා යනවාක් මෙන් නිෂ්චිත දිශාවක් වෙත ගමන් කරනවා. ආදරේ සුන්දර පැවැත්මක් දෙන්නම අපේක්ෂා කරනවා.

විහග පලමු වර සරසවි ප්‍රවේශයට සුදුසු කම් ලබන්නෙ නෑ. ඇය ඔහුව දිරිමත් කරනවා. අපේක්ෂා භංගත්වයෙන් පෙලුනු ඔහුව ඇය ගොඩගන්නවා. දෙදෙනාම මහන්සි වෙනවා. ඒ වෙහෙස වීමත් එක්ක සමහරදේවල් දෙදෙනා අතින්ම මග හැරෙනවා. ඒත් ආදරේ අඩුවක් නැ. විහග ඇය වෙනුවෙන් ගොඩක් කරපවීම් කරනවා. ඈවෙනුවෙන් ඔහු ක්ලාස් කට් කරලා ඒ සල්ලි වලින් ඇයට උගන්වන්න උදව් කරනවා. ඇය ගැන හොයා බලනවා. ඒත් ඔහු ඉලක්කයක් තියන් වැඩකරනවා.

විහග දෙවන වර උසස් පෙළ අවස්ථාවේ නිකිණි පලමු වරට විභාගයට පෙනී සිටිනවා. දෙදෙනාම හොදින් තමන්ට පුළුවන් උපරිමයෙන් කරනවා.
විභාග භීතිකාව අවසන් වෙනවා. ප්‍රථිපල එනතෙක් කාලයක් සිටිය යුතුය. මේ කාලයේදී ඔවුන් මුණගැසෙනවා දොඩමළු වෙනවා. ඔවුන්ට එක්වන්නට පාර කපා දුන් හන්තාන අඩවියට ඔවුන් බොහෝ සේ ප්‍රේම කරනවා.
ජීවිතේ කවියක් ආදරේ එහි සොදුරුතම වදනක්... ඇත්ත ඒ දේ ගොඩක් දුරට නිවැරදියි. ජීවිතේ කියන දේ තුල අපි ලබන සොදුරුම දේ ආදරයයි. දෙමව්පියන්ගෙන් සහෝදරයින්ගෙන් මිතුරන්ගෙන් පසුව ලැබෙන සොදුරුම ආදරේ ඇය.. ඔව් නිකිණි මගේ ජීවිතේ කවියක් වෙද්දි ඒ කවියෙ වචවයක් වචනයක් පේලියක් පේලියක් ගානෙ තිබූ සොදුරුතම දේ උනේ ඔයා. විහග එහෙම හිතන්න ඇති.

කාලයක් ගතවෙද්දි දෙදෙනාගේ යම් ඈත් වීමක්. ඒ වගේ කාලයක් ගතවෙද්දි නිතරම සැක කිරීම් වැඩි වෙනවා. හැබැයි විහග හිතනවා ඔහු නිවැරදියි කියලා. නිකිණි හිතනවා ඇය නිවැරදියි කියලා. දෙදෙනා දෙදෙනාට වැරැද්ද යොමුකරනවා. හැබැයි එහි දරුණුතම තත්වයට පත්වන්නේ උසස් පෙල ප්‍රථිපල පිට වීමත් සමගයි. විහග තමන්ගෙ ප්‍රථිපලයට කලින් නිකිණිගෙ ප්‍රතිඵලය අන්තර්ජාලයෙන් බලනවා. ඇය ඇයගේ දිස්ත්‍රික්කයේ 6වෙනියා බවට පත්වෙනවා. විහග විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසු කම් ලබනවා. ලැබූ ප්‍රථිිපලය අනුව ඇය නීති පීඨයට සුදුසුකම් ලබනවා.
විහග ඇයට මේ බව ඉතාමත් සතුටෙන් දුරකතන මාර්ගයෙන් දැනුම් දෙනවා.. ඇය ඔහුට පිළීතුරු දෙනවා.. 

අවසන් වරට ආදරෙන් "හරි මගෙ අයියෙ මං ඔයාට පස්සෙ කෝල් එකක් ගන්නම්"

ඇය දුරකතනය විසන්ධි කරනවා. ඒ වෙලාවෙ ඔහුට මේ බව දැනෙන්නෙ නෑ. ඒත් ඊට පසු දින ඔහු ඇමතුමක් ලබා ගනිද්දි ඇගේ දුරකතනය විසන්දි කර තිබෙනවා.

ඔහු දිගින් දිගටම දුරකතන ඇමතුම් ලබා ගන්නවා. ඒත් ඇගෙන් ප්‍රතිචාරයක් නෑ. ඔහු ඇයව සොයනවා. ඒත් ඇය ගැන කිසිම තොරතුරක් ලබා ගන්න බැරි වෙනවා.

මාස ගනනාවක් ගතවෙනවා. ඒත් කිසිම පණිවිඩයක් නැ.

ඔවුන්ට සරසවි අධ්‍යයන කටයුතු ආරම්භ වෙනවා. ඔහු ඇය හොයන් ඇගේ සරසවියට යනවා. දින ගනනාවක් ඒත් කිසිම තොරතුරක් නෑ. අවසානයේ ඔහු ඇගේ ෆොටෝ එකක් අරං එම සරසවියේ ඔහුගේ මිතුරන් සමග ඇය ගැන විමසනවා.

එහි ප්‍රථිපලයක් විදියට විහගට ඇය මුණගැසෙනවා.

ඇගේ මුවින් පිටවෙන්නෙ එම එක වචන කිහිපයක් පමණයි.

"ඇයි අයියෙ මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්නෙ නැත්තේ. මාව හොයන් එන්න එපා අනික මගෙ යාළුවො මොනව හිතයිද. ඔයා ඔයාගෙ ජීවිතේ හදාගන්න"

විහග ගිණිගන්නවා...

එදා සුන්දර මිනිස්සු පිරිිල හිටිය හන්තානෙ
අද තමන් වෙනුවෙන් පමණක්
වෙහෙසෙන මිනිසුන්
තමන් වෙනුවෙන්ම
සියලු බැදීම් ලිහා දමා
ආදරය දුවිල්ලක් කර
අතුගා දැමූ මිනිසුන් පිරිසක්
මේ එදා අපි හමුවුනු හන්තානමද???

ආදරේ කියන දේ අපි හරියට තේරුම් ගන්න ඕනෙ. තමන්ගෙ අවශ්‍යතාවය වෙනුවෙන් ක්‍රියාකරන මනුස්සයෙක්ට කවදාවත් අනිත් මනුස්සයෙක් ගැන හිතන්න බෑ. සුජීව ප්‍රසන්නආරචිචිලගෙ පොත් වල තියෙන මල් වගේ ආදර කතා ඇත්තටම මේ ලෝකෙ නෑ. එහෙම ලව් කරන මිනිස්සු මේ ලෝකෙ ඉන්නවනම් ඒ පිස්සෝ.

විහග ආයෙත් එනවා

බලාපොරොත්තු බිදුනු ඔහු තාමත් බලන් ඉන්නෙ කවද හරි නිකිණි ඔහුගෙ ලගට එයි කියලා.
නිකිණි කවද හරි එයි ඒ විහග හිතන හැටි. ඒත් ඇයි එයිද?? විහගගෙ ජීවිතේට ආයෙත් ඇය ආවොත් 
"ජීවිතේ කවියක් ආදරේ එහි සොදුරුම වදක්" කියන දේ නම් ඇත්තක් වෙයි. 

Thursday, April 3, 2014

රජගෙදර නාඩගම පළමු කොටස -සරස්වතී දෙවොල..


අපි ජීවත් වෙන්නෙ පුංචි දූපතක. ඒකට අහවල් සාගරේ අහවල් ඇටේ කියලත් කියනවා. අපි ඉස්සර ගොඩක් නිදහස් හැමදේකින්ම ස්වයං පෝෂිත ජාතියක්. අපේ ඉතිහාසය අපේ ශිෂ්ටාචාරය ඔබාමා පාලනය කරන රටට වඩා ගොඩක් පරණයි. අපේ රටේ මිනිස්සු ඉස්සර හරි අව්‍යාජයි. එකිනෙකා කෙරෙහි තිබ්බෙ පට්ට ලෙංගතු කමක්. ඉස්සරම කාලේ අපේ රට පාලනය කලේ ශ්‍රේෂ්ට රජවරු පිරිසක්. එක එක රට වලින් ඇවිත් අන්තවාදියො අපේ රටෙන් ගේම ඉල්ලපුවම අපේ සිංහල රජවරු දුන්නෙ උන්ට දුවන්න. හැබැයි ඔය අතරෙ ගොන් වැඩ කරපු රජවරුත් නොහිටියම නෙවෙයි.

ඒ ඉස්සර

ඉස්සර අපේ රටේ ඉගෙන ගත්තෙ රජතුමාලගෙ, ආරච්චිලගෙ, මුහන්දිරම්ලගෙ, කොටින් ම කිව්වොත් රදලයන්ගෙ ලමයි තමයි. පස්සෙ කාලෙක මහජනතාවගෙන් ආපු විරෝධයක් නිසා  රජතුමාට සිද්ධ වුනා අධ්‍යාපන අයිතිය අනිත් රටවැසයන්ටත් දෙන්න. ඒක ඒකාලෙ හැදින්වුවේ නිදහස් අධ්‍යාපන අයිතිය කියලයි. 1977න් පස්සෙ අපේ රට පාලනය කරපු රැජින අපේ රට ලෝකයට විවෘත කරා. දැන් ඕනෙ මල 
පෙරේතයෙක්ට අපේ දූපතට එන්න පුළුවන්. මේ අතරේ රට පාලනය කරන රජවරුන්ට රටේ උගතුන් වැඩි කම ගැටලුවක් වුනා. මොකද රජා යටතේ රටපාලනය කරන සමහර ඇමතිවරුන්ට හෝඩියෙ දැනුමවත් නැති නිසා උන් යටතේ සේවය කරන බුද්ධිමත්තු නිසා මේ මංද බුද්ධික ඇමතිලාට උන්ගෙ මගෝඩි වැඩ කරගන්න බැරි උනා. 

ඉතින් රජතුමා රටේ සරස්වතී දේවලයක ඉගෙනගත්තු ඊට පස්සෙ රජවරුන්ට කපුකම් කල කපුවෙකු රජවාලසට කැදවල මේකට විසදුමක් දෙන්න කිව්වා. කපුවා කපටියා. කපුව රජතුමාට කරන්න ඕනෙ දේ පැහැදිලි කරල දුන්නා.  රජතුමාට හරිම සතුටුයි. රජා මේ කපුවව තමන්ගෙ ඇමතිමණ්ඩලේට පත්කරගන්නවා. ඒ වගේම රටේම තියෙන රජයෙන් පාලනය කරන සරසවි දෙවොලවල් සේරම මේ කපුවට පවරනවා. කපුව හිතුවෙවත් නෑ මෙච්චර දෙයක් හම්බෙයි කියලා. ගොනා වගේ හිටියට මේ කපුවත් රජයෙ වියදමින්ම ඉගෙන ගත්ත පොරක්. හැබැයි මූට ලෙඩක් තිබ්බා. ඒ තමන් ඉගෙන ගත්ත නිදහස් අධ්‍යාපනය අනිත් අයට ලැබෙනවට මේ කපුවා කැමති වුනේ නෑ.

මේ අතරේ මූ රජතුමාට කියනවා

රජතුමනි මං ගාව තියෙනවා හොද අදහසක් රජතුමාගෙ පුත්තුන්ගෙ අලුගුත්තේරු වැඩ නිසා භාණ්ඩාගාරෙත් හිස් විච්ච එකේ අපිට රන් කහවනු උල්පතක් පෑදිල තියෙනවා. ඒකට කැමැත්ත අකමැත්ත දෙන එක ඔබ වහන්සේට බාරයි.

රජතුමාට දැන් මාර හැපි තාම පොඩි එවුන් දෙන්න තුන්දෙනා භාණ්ඩාගාරෙට කෙලින්න පටන් ගත්ත විතරනේ..

මොකක්ද බංඩෙ ඒ උඹ කියන කහවනු උල්පත රජතුමා කපුවගෙන් අහනවා.

අවසර රජතුමණි, දැන් ඔය අපේ රාජ්‍ය  සරසවි දේවාල ටික තියෙන්නෙ. ඕවගෙන් හැම එකාටම උගන්වන්නෙ නිකන් නොවැ, අපිට පුළුවන් රාජ්‍ය සරසවි දේවාල ටික පොඩ්ඩක් පැත්තකින් තියලා. ඒවට ගන්න ශිෂ්‍යයො අඩුකරන්න. එතකොට අපි ඒවෙනුවට එංගලන්තෙ මහරැජිනගෙ පලාතේ තියෙන කැම්පස් කියන උපාධිදෙන සුපර්මාකටි ටිකක් මෙහෙ දාමු. එතකොට ප්‍රභූ පැලැන්තිය ඉගෙන ගනියි. සරසවි දේවාල ටිකට කෙලවුනාවෙ. අපිට මොකෝ. අපිට මාසෙ අන්තිමට හොද ගානක් අපේ භාණ්ඩාගාර වලට දාගන්න පුළුවන්. එතකොට රටේ හැම හාල්පාරුවම ඩිගිරි කාරයො වෙන්නෙත් නෑ. උන් වත්තෙ පොල් කඩපුදෙන්, කාණුකපපුදෙන්, ගොවිතැන් කරපුදෙන් අපිට මොකෝ අපේ එවුන්ට මොලේ නැති වුනත් අර උපාධිකඩ වලින් සල්ලි දීලා උපාධියක් අරං දෙනවා. කොහොමද රජතුමනි මගේ අදහස

ඇයි බංඩො උඹ මං ලගට එන්න මෙච්චර කල් ගත්තෙ. උඹ නම් හැබෑම වැඩ කාරයෙක්. සති ගනන් මාස ගනන් සරස්වතී දේවාල ටික වහල දාල මහජනතාවට රාජ්‍ය සරසවි දෙවොල් එපා කරවපං. එතකොට අපිට පුළුවන් උඹ අර මහරැජිනගෙ පලාතෙන් ගෙන්වන කඩවල් වලට මෙහෙ ඉන්න එවුන් යවල අපේ භාණ්ඩාගාර පුරවගන්න. අම්මපා ඇත්තමයි උඹේ මොලේනම්. හරි හරි දැන්ම ඒ වැඩේ කරන්න පටන් ගන්න.

ඹහොම බංඩා උන්නැහේගෙ ප්ලෑන හෙමින් හෙමින් කරන් ගියා. මේ යකා එන පොට හොද නැති බව මේ වෙද්දි දේශමාමකයො තේරුම් ගත්තා. බංඩගෙ මේ වැඩේ රටටම ආරංචි වුනා. රජතුමාගෙ බත්ගොට්ටො ඇරෙන්න අනික් හැමෝම මේකට විරුද්ධව පෙල ගැහුනා.

හැම රාජ්‍ය සරසවි දේවාලෙකම මේ දේට විරුද්ධව ඒවගෙ ඉගෙන ගන්න ශිෂ්‍යයො පෙළ ගැහෙන්න පටන් ගත්තා. දැන් බංඩා ඇමති තුමාට හොදටම තරහ ගිහින්. මනුස්සයා මුලින්ම ඒ ඒ තැන් පාලනය කරපු දිසාපාමොක්ලට කියල විරුද්ධව නැගිටින ශිෂ්‍යයොන්ගෙ පංති තහනම් කරා. හැබැයි මනුස්සයට විරෝදතා රැල්ල නවත්තගන්න බැරි වුනා. සිසුන් උඩරට රාජධානියෙ ඉදං රජතුමාගෙ රජවාසල තියෙන දිසාවට පාගමන් ආවා. දහස්ගනන් සිසුන් මේ වටා එක්රොක් වුනා. පාගමන් මැදදි නවත්වන්න බංඩාගෙ කුලී හේවායො සිසුන් දෙන්නෙක්ව බිලිගත්තා. ඒත් සිසුන් නවත්වන්න පුළුවන් වුනේ නෑ.

මේ ප්‍රශ්නෙ දුරදිග ගියා ඇමතිවරු අතරෙම මේ දේට විරෝධතා ගොඩනැගුනා. බංඩා තනි වුනා. මහරජා බංඩට රජවාසලට අඩගැහුවා.

මොකක්ද බංඩො මේ කර ගත්තෙ? උඹ හත්පොලේම ගාගත්තනේද? ඔන්න ඕක ටික දවසකට නවත්තලා දාපං. මහජනතාව මට විරුද්ධවෙනවා. මෙහෙම ගියොත් රජකම ගහල යනවා සිකුරුයි. ඕන් ඕක වනත්තපං

රජතුමාට මහජන නැගිටීම දැකලා බඩේ අජීරනයක් හැදිලා.

බංඩා ඇමතිට ඊට එහා.. සරම පුරාව මලපහ වෙලා. 


රජවාලේ දොරටුවෙන් පිට වෙලා යනකන්ම උනේ මොකක්ද කියලා බංඩට වත් හිතාගන්න බෑ..