ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Wednesday, September 3, 2014

අයිස් බකට් සීතලද - අමු මිරිස් සැරද??


දවසින් දවස ලෝකය වෙනස් වෙනව වගේම මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් හැමදේම වෙනස් වෙන්න තත්පරයක් ඇති. මිනිසත් බව ලබන්න පින් කරන්න ඕනෙ කියල කිව්වට වෙලාවකට හිතෙනවා පින් කරලා මෙකට මිනිසත් බවක් ලබා ගත්තද කියලා. මම බෞද්ධ ජීවිතය ගෙතෙන්නෙ අටලෝ දහමට අනුවයැයි මගේ විශ්වාසයයි. එතනදි ලාභ-අලාභ , සැප-දුක , යස- අයස , නින්දා- ප්‍රශංසා , යන දේවල් අපේ ජීවිතයේ කොතනකදි හෝ ලැබෙනු නියතයි. දැනට අපි හිතේ සතුටින් ජීවත් වෙනවා (බොහෝ අය) ඒත් තමන්ගෙ ජීවිතේ අනපේක්ෂිත බව දැන දැන විදින්නට තියෙන ජීවිතේ දිහා විදවීමකින් දකින පිරිසක් අපි අතරම ජීවත් වීම ඇත්තටම දෛවයේ සරදමක් වෙන්න ඇති. හැමදේම කිසිම අඩුපාඩුවක් නැතිව මව් කුසෙන් දරුවෙක් එලිය දකිද්දි ඒ අම්මට තමන් මේ දරුවට ජීවය දෙන්න ඒ අම්මා විදපු වේදනවා ඒ අම්මට සතුටක්. එහෙම බිහිවුන දරුවෙක් කල් ගතවෙද්දි මොකක් හරි රෝගයක් නිසා වේදනාවෙන් ඉන්නව දකින්න ලැබෙන එකත් ඒ දේ වෙනුවෙන් තමන්ට කරන්න කිසි දෙයක් නෑ කියලා ඒ අම්මට දැනෙද්දි ඒ වේදනවා දරුවා බිහිවෙද්දි ශාරීරිකව වින්ද වේදනාවට වැඩි ඇති. අනෙක් පැත්තෙන් දරුවෙක් අසීමිතව ආදරේ කරන අම්ම හෝ තාත්තට එහෙමත් නැත්නම් එයාගෙ සහෝදරයෙක් සහෝදරියක් නැත්නම් යාලුවෙකු තමන් එක්කම ඉදලා මේ විදියට යම් රෝගයකින් වේදනා විදිනවනම් ඇත්තටම පිරිමි ඇසකට උනත් කදුලක් උනන්න ඒක හේතුවක් වේවි.


වෙනදා වගේම මොකක් හරි හේතුවක් ඇති වෙනවා අපිට තියෙන ප්‍රශ්න ඉස්මතු වෙන්න අවස්ථාවක් ඇති වෙන්න. මේ ටිකේ ලොව පුරාම ජනප්‍රිය උන අයිස් බකට් චැලේන්ජ් එක ඒකට නිදසුනක් හේතුව දන්න නොදන්න හැමෝම ලෝකෙට පේන්න අයිස් බකට් නාලා ඒ වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරලා තිබුනා. අන්තර්ජාලයෙන් ඔබ්බට ගිහින් ලංකාවේ රූපවාහිනී නාලිකා පුවත් පත් වල පවා මේ සිදුවීම් ජාලය පිලිබදව වාර්තා කර තිබුනේ ඒක ඒ තරමටම ජනප්‍රිය වීමත් අපේ රටේ සමහර දේශපාලකයන් මෙන්ම කලාකරුවන්ද මේ සදහා ඉදිරිපත් වු නිසා විය හැක. සමහරු තමන්ගේ ජනප්‍රියත්වය වැඩි කරගන්නට අයිස් බකට් නා ගත්තත් ඇතැමුන් අයිස් බකට් අභියෝගය තුලින් තම රටේ අසරනව සිටින ජනතාවට ආධාර උපකාර කරන්නට වග බලා ගත්තේය. 

මෙහි උණුසුම මැකී යන්නට මත්තෙන් අපේ රට තුල දැවෙන ප්‍රශ්නයක් හේතුව කරගනිමින් තවත් අභියෝගයක් නිර්මාණය කරන්නට රසික නානායක්කාර නම් මනුසත් බව පිරි හදවතක් ඇති මිනිසෙකු හා ඔහු වටා රොද බැදුනු මිනිසුන් අතර සැබෑ මිනිසුන් පිරිසක් සමත් විය. රටට බත දී රටම පෝෂණය කර වකුගඩු රෝගයෙන් පීඩා විදින අපේම සහෝදර මිනිසුන්ගේ අවිනිෂ්චිත ජීවිතය පිළිබද තවත් එක දිනක් හෝ ඔවුන්ට බලාපොරොත්තුවක් ඇති කරවන ආකාරයේ කටයුත්තකට මේ පිරිස මුල පිරුවේය. රට කරවන රජයකට අමතක වූ මිනිසුන් පිරීසක් වෙනුවෙන් ඔවුන් අරමුදලක් ඇතිකර තම සහෑදයන්ට මෙම අභියෝගය භාර කලේය. එය අමුමිරිස් චැලේන්ජ් ලෙස නම් විය. එයට හේතුව වුයේ ඔවුන් විදින වේදනාව පිලිබද පොඩි චිත්‍රයක් හෝ එම අභියෝගයට මුහුන දෙන පිරිසට දැනෙන්නට හැරීමයි. මේ කර්ත්‍රව්‍ය මේ වන විට දියත් වෙමින් පවතී. ඔවුන්ගේ අපේක්ෂාව පොලොන්නරුව ප්‍රදේශයේ වෙසෙන වකුගඩු රෝගීන් වෙනුවෙන් මිලියන 3ක් පමන වටිනා අත්‍යාවශ්‍ය රුධිර පෙරන යන්ත්‍රයක් ලබා දීමයි. ඒ උතුම් මිනිසුන්ගේ උතුම් කර්ත්‍රව්‍ය වෙනුවෙන් අපි පෙළගැසිය යුතුය. ඒ අපේ මිනිසුන්ගෙ ජීවිතය ජීවත් කරවීම අපේ යුතුකමක් කරගත යුතු නිසාය.................    

අපේම මිනිසුන් වෙනුවෙන් අපි අද සිටම පෙළගැසෙමු!!!!!!!!