ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Monday, April 21, 2014

සම සෞඛ්‍යයට අවුරුදු 4ක් අකැපද???


එදා සිට අද දක්වා ආණ්ඩු බලය ලැබූ ධනපති පාලකයන්ගේ ගොදුරු වූයේ රටේ ජීවත්වන මිනිසුන්ට පෙර බිහිවූ රජයකින් නොමිලයේ ලැබා දුන් දෙයක් ඇත්නම් එය කප්පාදුකිරීම සිදු කෙරෙන තුරු අලුතෙන් බිහිවූ ආණ්ඩුවට ඒ ආණ්ඩුව වටා ගොනු වී සිටින දේශමාමකකයන්ට නින්ද යන්නේ නැත. අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටකි. හැබැයි කනගාටුදායක සිදුවීම එය රටේ ව්‍යවස්ථාවට පමනක් සීමා වී තිබීමයි. මෙසේ එක්ක එක් විෂය පථයන්ගෙන් නිර්මාණය වූ නිදහස් සේවාවන් දැන් සීඝ්‍රයෙන් කප්පාදුවට ලක්වෙයි. එසේ සීඝ්‍ර කප්පාදුව සිදුවන නිදහස් සේවාවන් කිහිපයක් ලිපිය ඉදිරියට ගෙන යාමේ පහසුවට පහලින් ලියමි.

  ·         නිදහස් සෞඛ්‍යය සේවාව
  ·         සමෟද්ධි සේවාව
  ·         ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය
  ·         නිදහස් අධ්‍යාපන ක්‍රමය

මේ එසේ කප්පාදුවන් සිදුවූ සේවාවන් කිහිපයක් පමණි. මීට අමතරව 2002 ආණ්ඩුව කරන රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස විසින්ද සේවාවන් ගනනාවක් කප්පාදුවකට ලක්කරේය. එයින් ප්‍රමුඛතම ලෙස දැක්විය හැක්කේ රාජ්‍ය සේවයයි. නමුත් වත්මන් ආණ්ඩුවේ ඥාති සංග්‍රහය නිසා දැන් නම් රාජ්‍ය සේවය ශක්තිමත්ය.
එහෙත් පෙර සදහන් කල සේවා තවමත් පණ අදින ලෙඩුන්ය. මිය යෑම නිශ්චිතය. එහෙත් එහි කාලය කීම අපහසුය. මා මෙම ලිපිය ඔස්සේ දිග හරින්නේ සමසෞඛ්‍ය උපාධි කප්පාදුවයි එනම් සීඝ්‍ර කප්පාදුව සිදුවන නිදහස් අධ්‍යාපන ක්‍රමය පිළිබදවයි.

නිදහස් අධ්‍යාපන අයිතිය ලැබෙන්නේ සී ඩබ්ලිව් ඩබ්ලිව් කණ්නංගර මහාතා රාජ්‍ය මන්ත්‍රන සභාවට ඉදිරිපත් කල යෝජනාවකට අනුවයි. එහෙත් එය ඔහුගේ සංකල්පයක් ලෙස හැදින්වීම අනුවන ක්‍රියාවකි. නිදහස් අධ්‍යාපන අයිතියක් ඉල්ලා සමාජයෙන් ආ දැඩි ඉල්ලීම ඉවතලිය නොහැකි වූ විට එතුමා විසින් එම යෝජනාව සභාගත කරයි. කෙසේහෝ ඔහු නිදහස් අධ්‍යාපනයේ පියාය.

එලෙස අපිට අපේ මිනිසුන්ගේ නැගිටීමෙනුත් කණ්නංගර මහතාගේ දේශපාලන මැදිහත්වීමෙනුත් උරුම වූ නිදහස් අධ්‍යාපන ක්‍රමය මෙලෙස කප්පාදු කිරීම් සිදුකරන්නේ එක් එක් න්‍යාය පත්‍ර වලට යැයි සමස්ථයේ මතය බවට මේ වන විට පත්ව තිබෙනවා. එයට ප්‍රධනතම හේතුවක් ලෙස වත්මන් උසස් අධ්‍යාපන ක්‍රමය පාලනය කරන පාලකයන්ගේ හැසිරීම් සදහන් කල හැකිය. රාජ්‍ය සරසවි පද්ධතිය වසාගෙන බිහිවන උපාධී පිරිනමන විදෙස් සරසවි ශාඛා සීඝ්‍ර වර්ධනයක් සිදුවෙමින් පවතී. එසේ බිහිවන සරසවි වලට සිසුන් ඇද ගැනීමේ ක්‍රියාවලියේ බරපැවද දරන්නේ උසස් අධ්‍යාපන පාලකයන් විසින්ම වීම මෙහි දැකිය හැකි පොදු ලක්ෂණයයි. සරසවි තුල නිදහස බුක්ති විදිමින් සිටි සිසුන් දැඩි පාලනයකට එක්කරමින් සිසුන් රාජ්‍ය සරසවි බිම අතහැර යන තත්වයකට පත්ව තිබේ. එමෙන්ම සරසවි උපාධි පාඨමාලා නිශ්චිත කාල රාමුවකට සිදු නොකිරීමත් මෙහි තවත් ඛේදනීය තත්වයකි.

එක් එක් උපාධී පාඨමාලාවේ සාර්ථකත්වයට මෙන්ම එහි ප්‍රමිතිය රදාපවත්වා ගැනීමට නිශ්චිත කාල සීමාවක් පනවා තිබේ. එය,

කලා සාමාන්‍ය උපාධිය               - වසර 3
කලා විශේෂ උපාධිය                   - වසර 4
සමසෞඛ්‍ය                                - වසර 4

ලෙස උපාධි පාඨමාලා කිහිපයක් දැක්විය හැක. මෙලෙස උපාධියට සීමා පනවා ඇත්තේ සිසුන්ගේ කාලය අපතේ යැවීමට නොවන අතර එහි ගුණාත්මක භාවය සහතික කිරීමටයි.
මෙහි සදහන් වන සමසෞඛ්‍ය උපාධි පාඨමාලාව යම් කාලයක් දක්වා නියමිත ප්‍රමිතියට අනුකූලව සිව් අවුරුදු පාඨමාලාවක් ලෙස අධ්‍යන කටයුතු සිදුකරත් මේ වන විට බලධාරීන්ගේ හිතුවක්කාර තීරන වල ප්‍රථිපලයක් ලෙස වසර 3ක් දක්වා අඩුකර තිබෙන අතර එය දැන් සමාජයේ වඩාත් කතාබහකට ලක්ව ඇති ප්‍රශ්නයක් ලෙස සදහන් කල හැක. පාලකයන්ගේ හිතුවක්කාර ක්‍රියාකලාපය නිසා මේ වන විට දින ගනනක සිට සමසෞඛ්‍ය උපාධි අපේක්ෂකයන්ට හරි හමන් කෑමක් නැත. ඔවුන් දින සති මාස ගනනින් අයිතිය වෙනුවෙන් සත්‍යග්‍රහයක නිරතවීය. ඔවුන්ට නින්දක් නැත. ඇස් පියවෙන සැනින් ආණ්ඩුවේ මැරයන්ගෙන් ලැබිය හැකි තර්ජනයක් හිතේ රදවා ඔවුන් තමන්ගේ සටන මෙහෙයවයි.

ආණ්ඩුව කරවන මහරජු තම පුතුන්ට අළුත් අවුරුද්දට රජමැදුරේ කිරිබත් කවද්දි රටේ අනාගතය බාර ගැනීමට සිටින බුද්ධිමත් නිසා ක්‍රමවේදයට සරසවි ප්‍රවේශය ලබා සිටින තරුණ පිරිස මහපාරේය. අවුරුදු දිනයේ වෙනදාට ගෙදරට වෙලා අම්මගෙ අතින් කිරිබත් කාපු තරුණ තරුණියන්ට කිරිබත් කවන්නට අද ඒ අම්මලාට තාත්තලාට මහපාරට එන්න සිදුවිය. ඒ රටේ කරුමයටය. රට පාලනය කරන උසස් අධ්‍යාපනය පාලනය කරන (මන්ද)බුද්ධිකයන්ගේ ක්‍රියාකලාපය නිසාය. මේ වන විට මේයට විරුද්ධව පේරාදෙණිය සරසවිය අසල, ගාල්ල බස් නැවතුම අසල, කොටුව දුම්රිය ස්ථානය අසල එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදනය අසල විරෝදතා සත්‍යග්‍රහ සිදුවෙමින් පවතී. එහෙත් මුනිවත රකින පාලකයන් නිහඩය.

ආණ්ඩුව සිදුකරන නිදහස් අධ්‍යාපන කප්පාදුවේ ආසන්නතම ගොදුර බවට පත්ව ඇති සම සෞඛ්‍ය උපාධිය රැක ගත යුතුය. පරපුරෙන් පරපුරට එය රැගෙන යා යුතුය. ආස්චර්යවත් දිවයිනකට සුපිරි ගනයේ සෞඛ්‍ය සේවාවක් තිබිය යුතුය. සෞඛ්‍ය සේවය එසේ සුපිරි බවට රැගෙන යන්නට මේ සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ දායකත්වය අනිවාර්යය. පෙර නිශ්චිත ක්‍රමයකට සිදුකල පරිපූර්නව සිදුවූ නිසි ප්‍රමිතියකින් යුත් සමසෞඛ්‍ය උපාධිය තව දුරටත් එලෙසම තිබීම එසේ වන්නට හේතුපාදක වනු ඇත. රටේ බුද්ධිමත් පිරිසගේ මතය මෙම උපාධිය වසර 4ක් දක්වා පෙර තිබූ අයුරින් සිදුවිය යුතුය. නිදහස් සෞඛ්‍ය සේවාවත් නිසි ප්‍රමිතියකින් යුත් උපාධියක් ලබා ගැනීමට එය වසර 4ක් දක්වා දීර්ඝ විය යුතුය.

සටන මෙහෙය වන සිසු විරුවන්ට විප්ලවීය ආචාරය..


පුත,
හෙට උපදින විට
පෙර දිනෙන්
ළා රත් පැහැ අරුණලු
අලුත් ඉරක් පායනු ඇත
ඒ ඉර රත් පැහැ වුණේ
ඔබ වෙනුවෙන් මේ පරපුර
අප
වැගුරූ ලේ වලිනි..... 

-මහගම සේකර-

සටහන - ව්න්දික රත්නායක

No comments:

Post a Comment